Gossips

මහින්දානන්දගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේපයි

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය අද (06) ප්‍රතික්ෂේප කළා.
ඒ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ එය කැඳවූ අවස්ථාවේදීයි.
විමර්ශනයක් සිදුකර සැකකරුවෙකුට එරෙහිව කරුණු අනාවරණ වන්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට අවසර තිබෙන බවයි විනිසුරු මඩුල්ල මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 05 ක් වැයකර ක්‍රීඩා උපකරණ තොගයක් ගෙන්වා ඒවා පාසල් වෙත බෙදා නොදී දේශපාලන කටයුතුවලට යොදා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ සිදුකරනවා.
මේ අතර, හිටපු ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) යළිත් වරක් සිතාසි නිකුත් කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පනවා ඇති නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්.
පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වන හිටපු ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මේ වනවිට විදේශගතව සිටිනවා.