Gossips

ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට නිදහස් පක්ෂ මැති ඇමතිවරු ජනපති හමුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද උදෑසන පැවැත්වුණා.
ඊට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් සහ ජන්දය දීමෙන් වැලකී සිටි මැති ඇමතිවරුන් එක්ව සිටි බවයි නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
විශ්වාසභංග යෝජනාවෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කර තිබෙනවා.
මේ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂයේ අමාත්‍යවරු හයදෙනෙකු අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් භාරදී තිබෙනවා.
ඊට මන්ත්‍රීවරුන් 33 දෙනෙකු අත්සන් තබා ඇති අතර, මෙලෙස ඉවත් කරන ලෙස ඉල්ලා ඇත්තේ එස්.බී. දිසානායක, ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර අමාත්‍යවරුන්වයි.
ආණ්ඩුව විවේචනය කළ මෙම පිරිස තවදුරටත් ආණ්ඩුව තුළ සිටීම, 2015 වසරේ පැවති මැතිවරණවලදී ලබාගත් ජනමතයට පිටුපෑමක් බවද අදාළ ලිපියෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.
ඊයේ පැවති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 16 දෙනෙකු පක්ෂව ඡන්දය භාවිත කළ අතර, මන්ත්‍රීවරුන් 25 දෙනෙකු ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණ සිටියේ නැහැ.
විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ නිදහස් පක්ෂය නියෝජනය කරන නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන් ඡන්දය භාවිතා කිරීම සඳහා පැමිණ නොසිටීමද විශේෂත්වයක් වුණා.
මේ අතර විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නොපැමිණි නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරියේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහ තමන් ගන්නා ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව මෙම ප්‍රකාශය සිදුකරන බවයි අමාත්‍යවරයා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත ප්‍රකාශ කර ඇත්තේ.