Gossips

විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයෙන් මත දෙකක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජන්දය දීමෙන් වැලකී සිටින බවට රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
අද (04) උදෑසන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි කියා සිටියේ විශ්වාසභංගයට ජන්දය දීමෙන් වැලකී සිටීමට නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගේ නිවසේ අද උදෑසන පැවති රැස්වීමේදී තීරණය කළ බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ නිවසේ පැවති නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ විශ්වාසභංගයට පක්ෂව ජන්දය ලබාදීමට බවයි.
විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබාදෙන ආකාරය පිළිබදව අප පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් ද විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ මත දෙකක් පවතින බව ඔහු සඳහන් කළා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමද අද උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ජාවේදී විශ්වාසභංගයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර ඇති අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.