Gossips

මොමිනුල් හක් වාර්තා අතරට

ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙසට මොමිනුල් හක් වාර්තා අතරට එක්වුනා.
බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් ක්‍රීඩකයන් 87 දෙනෙකු ක්‍රීඩා කර ඇති අතර ඔවුන් කිසිවෙකුටත් ඉනිම දෙකේදීම ශතක ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.
මොමිනුල් හක් දෙවන ඉනිමේ දී ශතකයක් ලබාගත්තේ පන්දු 154 කට මුහුණ දෙමින්.
ඊට හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් ද ඇතුලත් වුනා.
මෙය ඔහුගේ හතරවන ටෙස්ට් ශතකයයි.
චිතගොන්හිදී, ශ්‍රී ලංකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ටී එම් ඩිල්ෂාන් ද මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා.
ඒ 2009 වසරේ ජනවාරි 3 වනදා පැවති තරගයකදීයි.
එහිදී ඔහු ඉනිම දෙකේදීම ශතක වාර්තා කර තිබුනා.
එමෙන්ම ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු රැස් කළ බංග්ලාදේශ පිතිකරුවා ලෙසට ද මොමිනුල් හක් වාර්තා අතරට එක්වී අවසන්.
ලීටන් ඩාස් අද තරගයේදී මොමිනුල් හක්ට ශක්තියක් වෙමින් කඩුල්ලේ රැඳී සිටින අතර ඔහු ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 66 ක්.
අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකුම දැවී ගොස් තිබියදීත් අද දිනයේ ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙමින් දෙවන ඉනිමේ ලකුණු අතරට පිවිසීමට සමත්වු මොමිනුල් හක්ට සහ ලීටන් ඩාස් දිවා ආහාරය වෙනුවෙන් ක්‍රීඩාගාරයට පිවිසෙන විට කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් හිමිවුනා.
දිනය ආරම්භය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා පිටුපසින් සිටිය ද මේ වන විට එම ලකුණු පරතරය අවම කර ගැනීමට මෙම පිතිකරුවන් දෙදෙනාට හැකියාවක් ලැබුනා.
බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 513 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව පළමු ඉනිම කඩුලු 9 කට ලකුණු 713 ක්ව තිබියදී අත්හිටවනු ලැබුවා.
දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 236 ක් ලබා සිටිනවා.