Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට හෝරා කිහිපයයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම අද (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වන අතර, රාත්‍රී 9.30 ට ඡන්ද විමසීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සන් සහිතව කථානායක කරූ ජයසූරිය වෙත මෙම විශ්වාසභංග යෝජනාව භාරදුන්නේ පසුගිය මාර්තු මස 21 වනදායි. යෝජනාවට අත්සන් තබා ඇති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 51 ක්.
නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් වන රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ද ඊට අත්සන් කර තිබුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ප්‍රධාන චෝදනා 14 ක් යටතේයි ගොනුකර ඇත්තේ.
බැඳුම්කර වංචාව සිදුකිරීමේ කූඨ අරමුණින් මහ බැංකුව තමන් යටතට පවරා ගැනීම, මෙරට පුරවැසියෙකු නොවූ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත් කිරීම, බැඳුම්කර වංචාවට පැහැදිළි ලෙස සම්බන්ධ වීම, ඊට සම්බන්ධ වංචනිකයින් බේරාගැනීමට උත්සාහ දැරීම ඇතුලු කරුණු එහි ඇතුළත්.
වත්මන් පාර්ලිමේන්තු සංයුතිය අනුව කථානායකවරයා හැරුණු කොට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී සංඛ්‍යාව 106 ක්. ඔවුන් අතරට මුස්ලිම් කොංග්‍රසයේ 7ක්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ 5ක්, අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් සහ රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් එක්ව පිහිටුවා ගනු ලැබූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් 6ක්, ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළත්.
පාර්ලිමේන්තුවේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 95ක් වන අතර, ඉන් 54 දෙනෙකු නියෝජනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයයි.
දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ධුර 16 ක්, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් 6 ක්, සහ ඊ.පී.ඩී.පී. සංවිධානයේ එක් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.
මේ අතර, විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ (03) ඉල්ලීමක් කළා.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වුණා.
ජනාධිපති නිල නිවසේ පැවති එම සාකච්ඡාවේදී මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළේ ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමටයි.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා මුණ ගැසුණා.
එම අවස්ථාවට මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රාජිත සේනාරත්න සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන්ද එක්ව තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස් වුණේ ඉන් අනතුරුවයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ තීරණය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතා සහ එම සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කළා.
මේ අතර, විශ්වාසභංගය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය පිළිබද අවසන් එකඟතාවකට පැමිණීම සදහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (03) රාත්‍රියේ දරුසලාම්හිදී රැස්වුණා.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී ඊයේ (03 පස්වරුවේ රැස්වුණා.
විශ්වාසභංගය යෝජනාව වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරගැනීම සඳහා දැනට ඒ සදහා විරුද්ධව සිටින පාර්ශ්වයන් සමග තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ (03) පස්වරුවේ ජනාධිපතිගේ ප්‍රධාත්වයෙන් කොළඹ පිහිටි ජනපති නිල නිවසේදී රැස්වුණා.
මේ අතර ආණ්ඩුව තුළ කළකිරීමට පත්ව සිටින කිහිප දෙනෙකු සහයෝගය පළ නොකලද අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව තමන් ස්ථිරවම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථායේ ඊයේ (03) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
හර්ෂ ද සිල්වා
සමහරු කියලා තියෙනවානේ අග්‍රමාත්‍යවරයාට 11-30 වෙනකොට ඉල්ලා අස්වෙන්න කියලා.හැමදාම ගේම් ගහන්නම මේක අස්සේ රිංගපු කට්ටිය කියන කතා අපේ ආණ්ඩුව අහන්න සූදානම් නෑ.අපේ ආණ්ඩුවට අපි විශ්වාසයක් නෑ ඒ නිසා අපිව ගෙදර ඇරපල්ලා කියලා ඡන්දේ දෙන ජාතියේ හරක් සෙට් එකක් නෙවෙයි අපි.මම කියනවා ඒගොල්ලට 11.30ට ගෙදර යන්න කියලා.ඉදිරිපත් කරලා තිබෙන විශ්වාසභංගය ඒකට මේ කෑල්ලක් වගකියන්න බෑ.කළකිරිච්ච දෙතුන් දෙනෙක් ඉන්නවා.ඒක අපි පිළිගන්නවා.ඔවුන් අපිට ඡන්දේ දෙන්නේ නැති බවත් අපි දන්නවා.විශ්වාසභංග යෝජනාව අපි ස්ථිරවම පරාජය කරනවා.
හෙක්ටර් අප්පුහාමි
කණගාටුවෙනවා එක්තරා කාරණාවකට.ඉඩ දුන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දෙන් පැරදිච්ච කණ්ඩායමටත් ඇවිල්ලා පිනට පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න.ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඩීල් දාගෙන ඉන්න කණ්ඩායම මේ ඩීල් අනුව මේගොල්ල හැමදාම කළේ ආණ්ඩුවට යන්න නොදී කකුළෙන් ඇදපු එක මේ අවුරුදු 3ම.ඒ කණ්ඩායමට කියනවා වහාම ආණ්ඩුවෙන් එළියට බහින්න කියලා හෙට දවස වෙන්න ඉස්සෙල්ලා.මේ විශ්වාසභංගයේ ඊළඟ යෝජනාව තමයි අතිගරු ජනාධිපතිතුමාට මේක ඉදිරිපත් කරන එක.මේ සමහර පිගුත්තර දේශපාලනඥයෝ මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන උප නායකත්වය ගැන සාමාජිකත්වය ගැන කතා කරනවා.අපේ රෙද්ද අස්සේ රිංගන්න අවශ්‍ය වෙන්නේ නෑ ඒ අය.
ප්‍රශ්නය-අගමැතිතුමා මේ වෙනකොට ජනාධිපතිතුමාව දෙතුන් පාරක් හම්බ වෙලා තුන්වැනි පාරටත් හම්බවෙනවා.මොනවද මේ කතා කරන්නේ?
පිළිතුර- අපි ජනාධිපතිතුමාත් එක්ක පැය 230ක් කතා කළා ඉරිදා.ඉතාමත්ම….ගැඹුරින් දීර්ඝ ලෙස විනිවිදභාවයෙන් යුතුව.
ප්‍රශ්නය-ඔබතුමා කියනවා 20/20 වැඩපිළිවෙළක් ගැන කතා කළා කියලා.හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා?
පිළිතුර- ඒක පුදුම වැඩක්නේ අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි කතා කරන්න බැරිද?එහෙම නීතියකුත් දාලා තියෙනවාද ඔය විශ්වාසභංගය ගේන කට්ටිය.දවසට දෙපාරක් නෙවෙයි දවසට 10 පාරක් හම්බවුණත් මොකද.මම හිතන්නේ වැඩිපුර හම්බවෙන තරමට තමයි හොඳ.
ප්‍රශ්නය-හම්බවෙන්නේ මොකටද මෙච්චර?
පිළිතුර- ඔයයි ඔයාගේ කසාද බැදපු කෙනයි හම්බවෙන්නේ නැද්ද දවසට දෙසරයක් .හම්බවෙනවනේ .සාකච්ඡා කරනවානේ.කසාදයක්නේ අපේ තියෙන්නේ.ජනාධිපතිතුමයි….ඉට්ස් අ මැරේජ්.
ප්‍රශ්නය-මොනවද සාකච්ඡා කළේ?
පිළිතුර- මම අහනවද මොනවද ඔයා ඔයාගේ බිරිඳත් එක්ක සාකච්ඡා කළේ කියලා.
ප්‍රශ්නය-ඒක පෞද්ගලික දෙයක්.නමුත් මේක පෞද්ගලික කාරණයක් නෙවෙයි.මේක පොදු කාරණයක්.ඔබ ළඟ ගණන් තිබෙනවද?
පිළිතුර- අපි ළඟ ගණන් තිබෙනවා.අපි එම ගණන් හෙට දවසේදී ඉදිරිපත් කරන්නම්.
ප්‍රශ්නය-රවී කරුණානායක මන්ත්‍රීවරයා විවිධ යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා වාර්තා වෙනවා විවිධ මාධ්‍යවල විශ්වාසභංගයට සහය පළ කිරීම සම්බන්ධයෙන්?
පිළිතුර- ඊයේ රාත්‍රියෙත් එතුමා අපිත් එක්ක හොඳට හිටියා.මොකද විශ්වාසභංගය සම්බන්ධයෙන් පරද්දන්න ඕන වැඩසටහනේ මූලිකව ඉන්න කෙනෙක්.
ප්‍රශ්නය-ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ අපි දැක්ක 4 පාරක් කරනවා.දැන් මේ පාර ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සාර්ථකයි කියලා ඔබතුමාලා හිතනවද?
පිළිතුර- පූර්ණ ප්‍රතිසංවිධානයකට අපි මීට කළින් එක්සත් ජාතික පක්ෂය මෑත වකවානුවේදී අවතීර්ණ වෙලා නෑ.මේක තමයි ප්‍රථම වතාවට මෙවැනි ප්‍රතිසංවිධානයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අගමැතිවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් වෙන්න කියලා දැනුවත් කරලා තිබෙන්නේ.
ප්‍රශ්නය-එහෙම නොවුණොත් මොකද කරන්නේ ඔබතුමන්ලා?
පිළිතුර- මේක තාත්තලා පුතාලා බාප්පලා මාමලාගේ පක්ෂයක් නෙවෙයි.අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්.
ප්‍රශ්නය-රංගේ බණ්ඩාර මැතිතුමා ෆේස් බුක් එකේ දාලා තියෙනවා අගමැතිතුමා සමග කරන ලද සාකච්ඡාව අනුව සැලකිය යුතු ප්‍රතිසංවිධානයක් නොකරන බවත් නායකත්වය වෙනසක් නොවන බවත් අනාවරණය විය කියලා.
පිළිතුර- රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා අගමැතිතුමත් එක්ක කරපු සාකච්ඡාව අදාළ වෙන්නේ නෑ.අදාළ වෙන්නේ පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ කෘත්‍යධිකාරී මණ්ඩලය සෙනසුරාදයි ඉරිදයි කරන සාකච්ඡාව සහ එහි ප්‍රතිඵලය.
ප්‍රශ්නය-රංගේ බණ්ඩාර වගේ මන්ත්‍රීවරු ප්‍රතිසංවිධානය පිළිබඳ සෑහිමකට පත් වෙන්නේ නෑනේ.ඒක විශ්වාසභංගය තුළින් ප්‍රකාශ වෙයිද?
පිළිතුර- අපේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ පාවා දෙන්නෝ නෙවෙයි.එළියේ ඉන්න අපේ දේශපාලන හතුරන්නට ඕන විදිහට එක්සත් ජාතික පක්ෂය අපි මෙහෙය වන්නේ නෑ.
ප්‍රශ්නය-විශ්වාසභංගයෙන් පස්සෙත් යහපාලන රජය ඉදිරියට යනවද?
පිළිතුර- සන්ධානේ ඇත්තටම රටේ ජනතාවට ආදරේ කරන ඇමතිවරු ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා.ඒ අය අපිත් එක්ක එකට එකතු වුණොත් අපි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.හැබැයි කරන්න බැරිනම් අපි ඒකට බය නෑ අපිට මුහුණ දෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට.