Gossips

හකීම්, මනෝ, යෝජනාවට එරෙහි වෙයි – නිදහස් පක්ෂය සහ දෙමළ සන්ධානය යළි රැස්වේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (04) පෙරවරුවේ යළි රැස්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිළ නිවසේදී ඊයේ (03) රාත්‍රියේ හමුවූ අතර එහිදී තීරණය කෙරුණේ අද උදෑසන 9ට රැස්වී මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීමටයි.
පෙරේදා (02) රාත්‍රියේද නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, එහිදී විශ්වාසභංගය පිළිබඳ විවාදයට පෙර තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍යවරයාට දැනුම්දීමටයි ඒකමතිකව තීරණය කරනු ලැබුවේ.
ඒ අනුව ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා හමුවූ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අදාළ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, ඉල්ලා අස්වන ලෙසට නිදහස් පක්ෂය කළ දැනුම්දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ තවදුරටත් අග්‍රාමාත්‍යවරයා එම ධුරයේ රැදී සිටිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවයි.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුලු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ජනාධිපතිවරයා හමුවී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කර තිබුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ සන්ධානය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් අද පෙරවරුවේ යළිත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එම සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමද සිය පක්ෂ මූලස්ථානයේදී රැස්වී තීරණය කළේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමටයි.
මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය ඊයේ රාත්‍රි 7 ට පක්ෂ මූලස්ථානය වන දරුසලාම් හිදී රැස්වූ අතර එහිදී තීරණය කර ඇත්තේ මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමටයි.
මේ අතර ඇමති මනෝ ගනේෂන් නායකත්වය දරණ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ ද විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබෙනවා.