Gossips

නිදහස් පක්ෂයේ තීන්දුව අගමැතිට දැනුම් දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද (03) උදෑසන යළිත් විශේෂ හමුවක් සිදුවුණා.
අද උදෑසන 9.10ට පමණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති නිළ නිවස වෙත පැමිණි අතර, එම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් අතර ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී හෙට (04) දිනයේදී විවාදයට ගැනීමට නියමිත අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අද (03) උදෑසන පැවති හමුවෙන් පසුව අමාත්‍ය මණ්ඩල රැස්වීම ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
කැබිනට් හමුව පැයකට ආසන්න කාලයක් පැවති අතර, ඇතැම් අමාත්‍යවරුන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් නොකර එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම, අග්‍රාමාත්‍යවරයා හමුවී සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට ඊයේ (02) ගත් තීරණය දැනුම් දී තිබෙනවා.
අමාත්‍ය චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිදහස් පක්ෂය වෙනුවෙන් ගත් තීරණය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බවයි.
ඊයේ (02) රාත්‍රියේ නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අතර, එහිදී අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට ඒකමතිකව තීරණය කරනු ලැබුවා.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පෙරමුණ ලෙස අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට නිදහස් පක්ෂය ලබාදුන් තීන්දුව ප්‍රතික්ෂේප කළ බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අග්‍රාමාත්‍යවරයා කුමන තීන්දුවක් ගත්ත ද ඒ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (03) රාත්‍රියේදී යළි රැස්වීමට කටයුතු කරන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද උදෑසන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
මේ අතර, විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද මේ වන විට රැස්වී තිබෙනවා.
එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ හමුව සිදුවූ බවයි.
මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ද අද උදෑසන පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේදී දරුසලාම් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් වශයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේදී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.