Politics Sri Lanka

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ වංචාදූෂණ පිළිබඳ වාර්තා අල්ලස් කොමිසමේ හිරවෙයි

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ වංචාදූෂණ පිළිබඳ වාර්තා අල්ලස් කොමිසමේ හිරවෙයි

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියක විසින් සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් 2015.02.18 දින දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව එහි ඉදිරි කටයුතු සඳහා අංක ACC/FC/2016/451 යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇතත් මෙතෙක් එහි ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ල මගින් ලේකමිවරිය විසින් ප්‍රාදේශීය සභාව සතු ඉතා ඉහළ වටිනාකමකින් යුතු අළුතින් ඉදි කළ කඩ කාමර දූෂිත අයුරින් හිටපු සභාපතිවරයාගේ හිතවතුන්ට සහ ඥාතීන්ට ලබාදීමට කටයුතු කර ඇති බව සහ පරිපාලන කටයුතුවලදී දූෂිත අයුරින් ක්‍රියා කර ඇති බවටද කරුණු දක්වා ඇත.

එම පැමිනිල්ලෙහි 2015.05.01 දින විසුරුවා හරින ලද බන්ඩාරගම ප්‍රාදේශීය සභාව කොමසාරිස් පාලනයට යටත්ව වැඩ කටයුතු කරගෙන යනු ලබන අතර එහි ලේකම්වරිය විසින් නගර මධ්‍යයේ පිහිටි බස් නැවතුම්පොළ ඉදිරියේ පොදු වෙළඳපොල භූමිය ආසන්නයේ ඉදි කෙරුණු ප්‍රාදේශීය සභාවට අයත් නව කඩ කාමර නමයක් නීති විරෝධී ලෙස දීර්ඝ කාලීන බදු පදනම මත ලේකමිවරියගේ සහ හිටපු සභාපතිවරයාගේ හිතවතුන්ට සහ ඥාතීන් කිහිපදෙනෙකුටත් තව ත්කඩ කාමර තුනක් පසුගිය රජය සමයේ හිටපු සභාපතිවරයාට විශාල ලෙස අල්ලස් මුදල් ලබා දී ඇති බවට චෝදනා ලැබ ඇති බණ්ඩාරගම නගර මධ්‍යයේ රේස් බුකියක් සහ නොයෙක් ව්‍යාාපාර පවත්වාගෙන යනු ලබන කඩ කාමර රාශියක්ද හිමි ශාන්තසිරි විජිත කුමාර යන අයට ලබා දීම හා එසේ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම යන චෝදනා මෙහි ලේකම්වරියට එරෙහිව ගොනු කර ඇත.

එම පැමිනිල්ලෙහි වැඩිදුරටත් දැක්වෙන පරිදි 2015.05.11 දින පැවැත්වූ ප්‍රාදේශීය සභා අවසන් මහා සභා වාරයේදී නව කඩ කාමර ඉදිරි දිනකදී ටෙන්ඩර් කර ජනතාවට ලබා දීමට තීරණය වී ඇත. 2015.05.11 දින සභාව විසුරුවා හරින ලද බවද, 2015.05.21 දින ටෙන්ඩර් කැඳවන බවද පසුව නීත්‍යානුකූල ආකාරයෙන් ටෙන්ඩර් කඩ කාමර ලබා දෙන බවද ජනතාවට හැඟෙන ආකාරයට පුවත්පත් දැන්වීමක් පළකර ඇත. එහෙත් මෙම දැන්වීම පළකර ඇත්තේ බණ්ඩාරගම ආසනය ඇතුලත පුවත්පත් 100කට නොවැඩි ගණනක් පමණක් විකිණෙන දිනමිණ පත්‍රෙයහි පමණක් වන අතර එම පුවත්පත් 100ම ලේකම්වරියගේ හිතවතෙකු ලවා මුදල් ගෙවා ලබාගැනීමට අවස්ථාව සලස්වා ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කර ඇත.

මෙම ස්වර්ණා නැමැති ලේකමිවරිය අවශ්‍ය මූලික සුදුසුකම් වත් සපුරා නොමැති තැනැත්තියක බව එහි තවදුරටත් සඳහන් වේ.

ප්‍රාදේශීය සභාව විසුරුවා තිබූ බැවින් සභාවේ කටයුතු හිටපු සභාපති වෙත යොමු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ නීති ප්‍රකාර බලයක් නැති වුවද සියලු කරුණුු හිටපු සභාපති වෙත දැනුම් දී ඔහුගේ උපදෙස් මත තීරණ ගැනීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා ලිපි ලේඛන සැකසීමේදි සභාවේ නිල වාහන හිටපු සභාපතිවරයාගේ නිවසට යැවීමට තරම් ලේකම්වරිය කටයුතු කර ඇත.

සේවයෙන් විශ්‍රාම ගොස් සිටින වැඩ අධිකාරි ගාමිණී පෙරේරා මහතා තවදුරටත් සේවයේ යෙදවීමට හිටපු සභාපතිවරයා ගත් තීරණය මෙම පැමිණිල්ල සිදුකරන කාල සීමාව වන විටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වී ඇති අතර මෙම නිලධාරියා සභාවේ සම්පත් අවභාවිතා කරමින් කටයුතු කරන බව සහ ඔහු නිසා සේවා උසස්වීම් ලැබීමට නියමිත අයවලුන්ට එම අවස්ථා මග හැරී ඇති බවද එහි තවදුරටත් වාර්තා වේ.

ජිනාදරී පුෂ්පිකා මහත්මිය පැමිණිල්ල සිදු කරන කාල සීමාව වනවිට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් මාරු වී ඇතත් එම සභාවේ සුභ සාධක සංගමයේ භාණ්ඩාගාරික තනතුරේ අදාල කාල සීමාව වන විටත් කටයුතු කර ඇත්තේ ඇය වන අතර ලේකම්වරියගේ උපදෙස් මත සුභ සාධක සංගමයේ මුදල් සිය අභිමතය පරිදි භාවිතා කරමින් කටයුතු කර ඇත.

එම කාල සීමාවේ පැවති පලාත් පාලන සතියේදී සංග්‍රහ වියදම් වලින්ද අක්‍රමිකතා සිදු කර ඇත. ඒ සඳහා කිදෙල්පිටිය, මැදගම, මුදලිගේ මහත්මියගෙන් රුපියල් 100 කට කෑම පැකට් මිලදී ගෙන ඒ සඳහා පාර්සලය රුපියල් 150 ලෙස යොදා ලේකම් විසින් තම බලතල යොදා වංචා සහගත ලෙස වාර්තාව සකස් කර මුදල් අවභාවිතා කර ඇත.

සභාවේ වරිපනම් අංශයේ සේවයේ නියුතුව සිටි පුෂ්පිකා ජිනාදරී ගුණතිලක මහත්මිය මහජනතාවගෙන් වරිපනම් මුදල් ලබාගෙන එම මුදල් බැංකුගත නොකර තමා සන්තකයේ රඳවාගෙන වංචා කර ඇත. මෙම මුදල් වංචාව ලේකම් හා හිටපු සභාපතිවරයාගේ අනුදැනුමින් සිදුවී ඇති බවට එහි තවදුරටත් සඳහන් වේ.

මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකමිවරිය, ප්‍රාදේශීය සභාවේ සේවය කළ පුෂ්පිකා ජිනාදරී මහත්මිය, ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා සහ ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරී ගාමිණී පෙරේරා මහතා නම් කර ඇති අතර දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් මෙම පැමිණිල්ල 2016.02.29 වන දින වැඩිදුර විමර්ශණය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇත. එහෙත් මේ පිළිබඳව මේ වනවිට සිදු කර ඇති විමර්ශණ පිළිබඳව කිසිවක් වාර්තා නොවේ.