Gossips

යුරෝපයේ එල්.ටී.ටී.ඊ.තහනම දිගුවේ

යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවතත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගතකර තිබෙනවා
නව තීරණය පසුගිය මාර්තු 21 වනදා සිට ක්‍රියාත්මක වන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ අරමුණෙන් ඊට එරෙහිව විශේෂිත සීමාවන් ක්‍රියාත්මක වනු ඇති.
යුරෝපා සංගමය විසින් මෙවර එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුලූ සංවිධාන 20 ක් ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස ලැයිස්තු ගත කරනු ලැබුවා.
යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස මුලින්ම නම් කරනු ලැබුවේ 2006 වසරේදියි.
එහිදී ඊට අභියෝගයක් එල්ල නොවූ අතර, 2014 වසරේදී යුරෝපීය අධිකරණය මගින් එල්.ටී.ටී.ඊ. තහනමට අදාළ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කළා.
කෙසේ නමුත් ඊට එරෙහිව යුරෝපා සංගමය අභියාචනයක් ගොනු කිරීමට පියවර ගත්තා.
සීමාවන් ලිහිල් කිරීම යුරෝපීය අධිකරණය මගින් 2017 වසරේදී තහවුරු කළද එල්.ටී.ටී.ඊ. අරමුදල් තවදුරටත් අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා.
2009 වසරේ යුද්ධය අවසන් වී ඇති බැවින් එල්.ටී.ටී.ඊ. ය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බවට උත්සාහයක් පැවතුණා.
එම තත්ත්වය හමුවේ යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවතත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කිරීම සඳහා ශ්‍රී ලංකාව රාජතාන්ත්‍රික පියවර රැසක් ගෙන ඇති බව සඳහන්.
ඒ සඳහා යුරෝපා සංගම් මුලස්ථානයේ පිහිටි බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික නියෝජිත කණ්ඩායමද දැඩි උත්සාහයක නිරත වී තිබෙනවා.