Gossips

රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභා එක්ව කටයුතු කළ යුතු බව ජනපති කියයි

පොළොන්නරුවේ වැව් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඊයේ (30) නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා අදාළ උපදෙස් ලබාදී ඇත්තේ.
වියළි කලාපයේ වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් 123ක ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ වූ අතර, එහි සමාරම්භය හිඟුරක්ගොඩ – චන්දන පොකුණවැවෙන් සිදුකෙරුණා.
ඊයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ගොවිජනතාවට බාධාවකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට අවශ්‍ය ජලය සපයා ගැනීමට විධිමත් සැලසුමක් ඔස්සේ සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවිය යුතු බවයි.
අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පොළොන්නරුව නව බස් නැවතුම්පළේ ඉදිකිරීමේ කටයුතු පිළිබදව නිරීක්ෂණ චාරිකාවක ද නිරත වී තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා අදාළ වැඩ කටයුතු කඩිනම් කරන ලෙසට ද බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, පොළොන්නරුව නව කෞතුකාගාරය ඉදිකිරීම සහ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ කටයුතු පිළිබදව ද බලධාරීන්ගෙන් විමසා තිබුණා.
මේ අතර, රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභා සුහදතාවයෙන් සහ එකඟතාවයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ, ඊයේ පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවැති දිස්ත්‍රික් අධ්‍යාපන ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම පිළිබද වැඩසටහනට එක්වෙමින්.