Gossips

විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයෙන් තීන්දුවක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පැය 48 කට පෙර රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී එළඹෙන අප්‍රේල් 2 වන සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙලෙස රැස්වීමට නියමිතයි.
මෙහිදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.
මේ අතර, එළඹෙන අඟහරුවාදා දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල හමුවක් ද පැවැත්වීමට නියමිතයි.
මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ අවසන් තීරණය විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සිය ඉන්දීය සංචාරය නිමවා යළි පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.
එසේම, එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණා.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, නවීන් දිසානායක, සරත් ෆොන්සේකා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා එක්ව සිටි බව සඳහන්.
මෙම සාකච්ඡාව පැවැත්වුණේ මීට දින කිහිපයකට පෙර සුවසිරිපායේ දී එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.
මෙහිදී පසුගිය වසර 3 ක කාලසීමාව තුළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළ කරුණු ප්‍රමාද වීම, ආර්ථික ගැටලූ නිසි පරිදි කළමනාකරණය නොවීම, ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් ජනතා අප්‍රසාදය වර්ධනය වීම සහ පළාත් පාලන මැතිවරණයේ රජය මුහුණදුන් පසුබෑම පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ නායකයන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
එසේම, අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් යෝජනාවලියක්ද සාකච්ඡාවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවයකට නොපැමිණි බවයි අදාල හමුවට එක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.