Gossips

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා නිවැරදි විභාග අංකයම ඇතුලත් කළ යුතු බවයි.
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන 29 වනදා පෙරවරු 10 න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පමණක් නිකුත් කෙරෙනු ඇති.
අනෙක් සියලු පාසල් වෙත ප්‍රතිඵල ලේඛන 29 වනදා තැපැල් කෙරෙන අතර සියලු පෞද්ගලික අයදුම්කරුවන් වෙත ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කරන්නේ නම් පාසල් අයදුම්කරුවන් අප්‍රේල් 7 වනදාට පෙර සහ පෞද්ගලික අයදුම්කරුවන් අප්‍රේල් 12 වනදාට පෙර අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු වනවා.
පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවනු ලබන අතර පෞද්ගලික අයදුම්කරුවන් ලබන 30 වනදා ජාතික පුවත්පත්වල පළකරනු ලබන දැන්වීම අනුව නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර සම්පුර්ණ කර එවිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියාසිටියේ.
ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පාසල් විභාග සංවිධාන ශාඛාවේ 0112 784208 / 0112 784537 / 0113 188350 / 0113 140314 යන අංක වලට හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ලබාගත හැකියි.
පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 688, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්වුණා.
මේ අතර 2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා සිසු සිසුවියන් 6 දෙනෙක් ප්‍රථම ස්ථානයට පත්වී තිබෙනවා.
දෙවන ස්ථානයට පත්වු සිසු සිසුවියන් සංඛ්‍යාව 9 ක්.