Gossips

ගුවන් මගියෙකු සමග තීරු බදු රහිත සාප්පු සේවකයන් දෙදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

විදේශීය දුම්වැටි තොගයක් ශීතකරණයක බහා ගුවන්තොටුපලින් පිට කිරීමට උත්සාහ කළ ගුවන් මගියෙකු සහ තීරු බදු රහිත සාප්පු සේවකයන් දෙදෙනෙකු රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටාර් රාජ්‍යයේ රැකියාවක නිරතවී පැමිණෙමින් සිටි නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු යොදා ගනිමිනුයි සාප්පු සේවකයන් දෙදෙනා දුම්වැටි තොගය පිට කිරීමට උත්සාහ කර ඇත්තේ.
විද්‍යුත් භාණ්ඩ අලෙවි කරන තීරු බදු රහිත සාප්පු සේවකයන් මෙම පුද්ගලයාට ප්‍රකාශකර ඇත්තේ ශීතකරණයක් ගුවන්තොටුපලින් පිටතට ගෙන ගොස් දෙන ලෙසටයි.
ඒ සඳහා රුපියල් 2500 ක් ලබාදෙන බවට ද ඔවුන් ප්‍රකාශකර තිබෙනවා.
ශීතකරණය භාරගැනීම සඳහා ගුවන්තොටුපලින් පිටත පිරිසක් සිටින බවයි සේවකයන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මෙම ගුවන් මගියාට ශීතකරණයක් මිලදී ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබුන ද මුදල පිළිබඳ සිතා ඔහු ඊට එකගවී ඇතැයි සඳහන්.
ශිතකරණය රැගෙන පිටතට පැමිණීමේදී භාණ්ඩ පරීක්ෂාවේ යෙදී සිටි රේගු නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත එහි ඇසුරුම් ඉවත් කර පරීක්ෂා කර තිබෙනවා.
එහිදී ශීතකරණය තුල අසුරා තිබූ විදේශීය දුම්වැටි කාටුන් 115 ක් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ගුවන් මගියාගෙන් මේ පිළිබඳ ප්‍රශ්ණ කිරීමේදී ඔහු සිද්ධිය පිළිබඳ රේගු නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ තීරු බදු රහිත වෙළඳසැල පරීක්ෂා කිරීමේදී තවත් විදේශීය දුම්වැටි කාටුන් 48 ක් හමුවී ඇති අතර මේවායෙහි වටිනාකම රුපියල් 1,630,000 ක් බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය පිළිබඳ ගුවන්තොටුපල රේගුව වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබෙනවා.


ඡායාරූප – කටුනායක ටී කේ ජී කපිල