Gossips

පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවු ස්මිත් සහ වෝනර්ට IPL තරගාවලිය අහිමි වෙයි

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයකදී පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන බවට අනාවරණ වී තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙය තහවුරු කර ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා සඳහන් කළේ.
තම ආරක්ෂාව පිළිබඳ ඉන්දියාවේ දී සහතික විය නොහැකි බවට පවසමින් ස්ටීවන් ස්මිත් සිය අයි පී එල් කොන්ත්‍රාත්තුව ඉල්ලා අස්කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.
පන්දුව පලුදු කිරීමේ වරද පිළිගත් ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර්ට වසරක කාලයක් ක්‍රිකට් තහනම් කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙම චෝදනා හේතුවෙන් ඔවුන් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ද ඉවත්වුණා.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධානී රජිව් ශුක්ලා ද ප්‍රකාශකර තිබුනේ මෙම චෝදනා හේතුවෙන් ඩේවිඩ් වෝනර්ට සහ ස්ටීවන් ස්මිත්ට මෙවර අයි පී එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදෙන බවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙදෙනාට තරගාවලිය තහනම් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශකර ඇත්තේ.
මේ අනුව ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙනත් ක්‍රීඩයන් දෙදෙනෙකු කණ්ඩායම්වලට එක්කර ගැනීමට අයි පී එල් බලධාරීන් අනුමැතිය ලබාදී තිබෙනවා.
ස්ටීවන් ස්මිත් වෙනුවෙන් රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම දැනටමත් නායකයා ලෙසට අජින්කෙයා රහනේ නම්කර තිබෙනවා.
කෙසේවෙතත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඩේවිඩ් වෝනර් වෙනුවෙන් කිසිවෙකුත් මෙතෙක් නම්කර නැහැ.