Gossips

සභාපති තේරීමේදී මස්කෙළිය උණුසුම් වෙයි

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කරගැනීමේදී අද (28) උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් පොලීසියේ කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
එක්සත් ජාතික පක්ෂයෙන් එම සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරියක් සභාවට නොපැමිණීම හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් විසින් ඇයව සගවා ඇති බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කළා.
කෙසේ වෙතත් ඇය මේ වනවිට අසනීප තත්ත්වයක් හේතුවෙන් නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මස්කෙලිය ප්‍රදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වූ අතර එහිදී ඔවුන් ලබාගත් මන්ත්‍රී ධූර සංඛ්‍යාව 07ක්.
එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයද මන්ත්‍රී ධූර 07ක් හිමිකර ගත් අතර එක්සත් ජාතික නිදහස් පෙරමුණට සහ පොදුජන පෙරමුණට එක් මන්ත්‍රී ධූරය බැගින් හිමි වුණා.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනා කළු පටි පැළඳ එම ස්ථානයෙන් නික්ම යෑමෙන් පසුව සභාපති තේරීමේ කටයුතු සිදුවුණා.
ඒ අනුව, ලංකා කම්කරු කොංග්‍රසයේ සෙම්බග වල්ලි මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ලෙස තේරී පත් වූ අතර ඇයට එම කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 7 දෙනාගේ සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාගේ සහය හිමිවුණා.
සභාපතිවරයා තේරීමේ කටයුතු මස්කෙළිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවකදී සිදුකෙරුණු අතර, ඊට විරෝධය පළ කරමින් ඉන් පිටවූ පිරිස පසුව මස්කෙළිය පොලීසියට පැමිණ විරෝධතාවයක ද නිරත වුණා.
එම අවස්ථාවේදීයි ඔවුන්ගේ ආධාරකරුවන් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් අතර නොසන්සුන්කාරි තත්ත්වයක් ඇතිවුණේ.
අප වාර්තාකරුවන් සඳහන් කළේ මොවුන් ගල් ප්‍රහාරයන් ද එල්ල කර ගත් බවයි.
ඒ හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ වාහන කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.
එමෙන්ම, මස්කෙළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය පැය එකහමාරකට ආසන්න කාලයක් අවහිරව තිබූ අතර පොලීසිය මැදිහත් වී මේ වනවිට එම අවහිරතාව ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, දෙපාර්ශවයේම පිරිස් මේ වනවිට මාර්ගයේ බිම වාඩි වී සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, තවත් පලාත් පාලන ආයතන කිහිපයක ප්‍රධානීන් තෝරා ගැනීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා.
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ ඉදිරිපත් වූ තුෂාර සංජීව තේරී පත්ව තිබෙනවා.
එහිදී ඔහුට ජන්ද 11ක් හිමි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට හිමි වූයේ ජන්ද 08ක් පමණයි.
මීට අමතරව සීතාවකපුර නගර සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිතව තිබුණත් එය පසුවට කල් ගියේ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන්.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය තමාට අල්ලස් ලබාදුන් බව පවසමින් අරනායක ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉෂාරා මධුශානි අල්ලස් කොමිසමට අද (28) පැමිණිල්ලක් ගොනු කිරීමට නියමිතයි.
අරනායක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා පැවති ජන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් විසින් සිය ජන්දය මුදලට ලබා ගත් බවට ඇය ඊයේ (27) පාපොච්චාරණයක් ද සිදු කළා.
ජනතාවට තම නිවැරදිභාවය දැනුම් දීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණිල්ලක් ගොනු කරන බවයි ඇය තවදුරටත් කියා සිටියේ.