Gossips

පුංචි මන්ත්‍රීවරු මුදලට විකිණීම ගැන අරණායකින් පාපොච්චාරණයක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජය ගත් බොහෝ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට බහුතර බලයක් හිමිනොවීමත් සමග අදාළ ආයතනවල බලය පිහිටුවීමේදී මන්ත්‍රීවරුන්ගේ ඡන්දය මුදලට ලබා ගන්නා බවට සමාජයේ විවිධ මතවාද පවතිනවා.
ඒ බව තහවුරු කරමින් ආසන්නතම සිදුවීම අද(27) වාර්තා වුණේ අරණායක ප්‍රාදේශීය සභාවෙන්.
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ඊයේ(26) එක්සත් ජාතික පක්ෂය විසින් හිමිකර ගත්තා.
ඒ සදහා පැවති රහස් ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඡන්ද 16 ක් හිමිකර ගනිද්දී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට ලබා ගත හැකිවූයේ ඡන්ද 14 ක් පමණයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන ඉෂාරා මධුෂානි අද(27) පාපොච්චාරණය කළේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම විසින් සිය ඡන්දය මුදලට ලබා ගත් බවයි.
තමන් මෙන්ම තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එලෙස ඡන්දය මුදලට ලබාදීමට එකඟ වී ඇති බව ඔවුන් ප්‍රකාශ කළ බවයි ඇය සඳහන් කළේ.
එහෙත් අවසානයේ තමා පමණක් එලෙස ඡන්දය ලබාදී තිබූ බවත්, එම වරද නිවැරදි කරගැනීම සඳහා මෙලෙස ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණය කරන බවයි ඇය කියා සිටියේ.
ඒ අනුව, ඇය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාට සහය පළ කළේ තමාට සිදුකළ බල කිරීම මත බවයි දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සදහන් කර ඇත්තේ.
මේ අතර, පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය ජය ගත් මීගමුව මහනගර සභාවේ නගරාධිපති සහ උප නගරාධිපති ධුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීමේදී මන්ත්‍රීවරුන්ගේ ඡන්ද මුදලට ලබා ගත් බවට ද මත පළවුණා.
මේ අතර හලාවත නගර සභාවේ මංගල සභාවාරය ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව අද(27) කල් තැබීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සී.ඩබ්ලිව්. ජයසිංහ කටයුතු කළා.