Gossips

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන රටම වැළඳ ගනී

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මගපෙන්වීම අනුව 2017 වර්ෂයේ මැයි මාසයේ සිට ක්‍රියාවට නංවන ලද 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියර යටතේ පාසල් 42 ක සිසු දරුවන් 2,400 ක් මේ වන විටත් අධ්‍යාපනය ලබන බව අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.
මෙම වැඩසටහනේ දෙවන අදියර 2018 මැයි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව තවත් පාසල් 150 ක සිසුන් 14,000 කට වෘත්තිය විෂය ධාරාව යටතේ අධ්‍යාපන කටයුතුවල නියැලීමට අවස්ථාව සැලසෙනවා.
මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක ව පවතින අතර, ඒ අනුව 2018 මැයි මාසය වන විට ගුරුවරුන් 2,100ක් බඳවා ගැනිමට නියමිතයි.
මීට අමතරව දෙවැනි අදියර ක්‍රියාත්මක කිරිමට තෝරාගත් පාසල් 150 ක් තුළ සුහුරු පන්ති කාමර Smart Class Room 417 ක් පිහිටුවිමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ සිසුන්‍ට ප්‍රායෝගික වන වැඩ ලෝකයට ගැළපෙන වෘත්තීය විෂයන් 26ක් පාසල් විෂයමාලාවට එක්කර තිබෙනවා.
අ.පො.ස (සා.පෙළ) සමත් / අසමත් සියලු සිසුන්ට මෙම වෘත්තීය විෂය ධාරාව යටතේ 13 වසරක පාසල් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසෙන අතර මෙම වැඩසටහන සඳහා 2018 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3,500 ක්.
13 වසරක අධ්‍යාපන වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වන්නේ වැඩ ලෝකයට ගැළපෙන ප්‍රයෝගික පුහුණුවකින් යුක්ත වෘත්තීය විෂය ධාරාවක් හැදැරීමට පාසලේ සිටම දරුවන් යොමුකරවීම තුළින් පුරවැසි හා ප්‍රජා වගකීම් ඉටු කරන කාර්යක්ෂම හා ඵලදායි ශ්‍රම බලකායක් මෙරට තුළ නිර්මාණය කිරීමයි.