Gossips

මවක් සහ දියණියක්, වෙස් මුහුණු පැළඳ ගම්පහ දී විරෝධතාවක (ඡායාරූප)

ගම්පහ අධ්‍යාපන කලාප කාර්යාලය ඉදිරිපිට දී මව, සුළු මව සහ දියණිය වෙස් මුහුණු පැළඳ විරෝධතාවක නිරතවීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ඒ, මවට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට පවසමින් පාසල් බලධාරීන් දියණියගේ පාසල් ගමන දෙවන වරටත් අඩාල කිරීමට විරෝධය පළ කරමින්.
අදාළ දැරිය ගම්පහ – ගනේමුල්ල කුඩාබොල්ලත ශ්‍රී සුමංගල විදුහලේ අධ්‍යාපනය ලබන අතර, එහි බලධාරින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය මස 20 වන දා සිට යළි දියණියගේ පාසල් ගමන අඩාල වී ඇති බවයි මව චෝදනා කළේ.
මෙවර තම දියණිය ශිෂ්‍යත්ව විභාගයට ද පෙනී සිටීමට නියමිත බැවින් සිදුව ඇති අසාධාරණයට බලධාරීන්ගෙන් විසදුමක් ඉල්ලා ඊයේ (26) මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි ඇය හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ.
ඇය පළමු වන ශ්‍රේණියේ සිට පන්තියේ පළමුවැනියා වීම ද විශේෂත්වයක්.
මීට පෙර ද මවට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට පවසමින් එම සිසුවිය පාසලෙන් නෙරපීමට බලධාරීන් කටයුතු කර තිබුණා.
එහෙත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත් වී එම සිසුවියට යළි පාසල් යාමට අවස්ථාව උදා කර දුන්නේ විදුහල්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ලබා ගත් කොන්දේසි කිහිපයක් මතයි.
ඒඩ්ස් රෝගය වැලදී ඇති බවට චෝදනා එල්ල වන ගනේමුල්ල – කුඩාබොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික පාසලේ දැරියට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද මීට පෙර ප්‍රකාශ කළා.
අදාළ පුවත පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය මුල්වරට තොරතුරු ගෙන එනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මස 17 වැනිදායි.

ඡායාරූප – හලාවත, ප්‍රසාද් පූර්ණිමල්