Gossips

අධික උණුසුමෙන් දරුවන් රැක ගන්න

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමඟ දරුවන් වැඩි වශයෙන් රෝගාබාධවලට ගොදුරුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ අධික උණුසුමත් සමඟ දරුවන් නිරන්තරයෙන් සමේ රෝග සහ විජලන තත්ත්වයන්ට ලක්විය හැකි බවයි.
මේ නිසා දරුවන්ට නිරන්තරයෙන් ජලය පානයට සහ ස්නානයට යොමු කිරීම වැදගත් බවයි ඔහු කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණූ පැහැදිලි කරන ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ කෘත්‍රිම රසකාරක අඩංගු පානවලට යොමු නොවන ලෙසයි.
වැඩි වශයෙන් ජලය පමණක් පානය කිරීම තුළින් වියලි කාලගුණයෙන් ඇතිවන සමේ රෝග සහ විජලනය අවම කරගත හැකි බවයි වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ.
එමෙන්ම පවතින වියලි කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල වනාන්තර ගිනි ගැනීම් වාර්තා වනවා.
වැඩි වශයෙන් රක්ෂිත ගිනි ගැනිම් වාර්තා වී ඇත්තේ බදුල්ල ප්‍රදේශයෙන්. වැල්ලවාය -වවුල්ගලපතන කදු රක්ෂිතයේ සහ මිහින්තලේ – කන්නට්ටිය තේක්ක රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත් අතර, එම ගිනිගැනීම් මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.
තලෙයිමන්නාරම දුම්රියපොල ආසන්නයේ ඇති තල්ගස් කැලැව තුල ද ඊයේ (25) හදිසි ගිනිගැනීම් තත්ත්වයක් වාර්තාවුණා.
තලෙයිමන්නාරම යුද හමුදා කඳවුරේ නිළධාරින්, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න මැඩපැවැත්වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර පවතින වියලි කාලගුණ තත්ත්වය, අප්‍රේල් අවසානයේ අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීමත් සමග පහව යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනුෂා වර්ණසුරිය සදහන් කළේ ඒ අනුව වැඩි වශයෙන් පස්වරු කාලයේදී වැසි අපේක්ෂා කරන බවයි.
දිවයිනට නැගෙනහිර සහ ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වලාකුළු පද්ධතිය මේ වනවිට ක්‍රියාකාරි මට්ටමක පවතින බැවින් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහල යා හැකි බවද ඇය සඳහන් කළා.