Gossips

මෝදි රජය, ශ්‍රී ලංකාව ගැන අනවබෝධයෙන් – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි

නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය රජය ශ්‍රී ලංකාව පිළිබඳ නිසි අවබෝධයකින් තොරව වැරදි විනිශ්චයන්ට එළඹී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
2010 වසරෙන් පසු ප්‍රථම වරට ඉන්දීය මාධ්‍යයක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය, ඉන්දියාව අභිබවා චීනයට ළංවූ බවට ඔවුන් තුළ මතයක් පැවති බවයි.
කෙසේ නමුත් මෙරට භූමි තලය ඉන්දියාවට එරෙහිව යොදාගැනීමට ඉඩ නොදෙන බවට ශ්‍රී ලංකාව සහතිකයක් ලබාදී ඇති බව ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ෂිව්ශංකර් මෙනන්ගේ කෘතිය උපුටා දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විශ්වාසය මත ගොඩනැගෙන්නක්.
රාජ්‍ය තාන්ත්‍රිකයන් අපට ඔත්තු සේවා නිලධාරීන්ගේ ප්‍රතිස්ථාපනය කළ නොහැකියි.
ශ්‍රී ලංකාව සමග සබඳතාවලදී ඉන්දියාව, චීන භීතිකාවෙන් මිදිය යුතු බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
මෙරට වරායවල චීන සබ්මැරීන නැංගුරම් ලා ඇති බවට ඉන්දීය මාධ්‍ය වෙතින් ප්‍රචාරයක් ලබාදී තිබූ බවද ඔහු සිහිපත් කළා.
පසුගිය පාලන සමයේ මෙරටට පැමිණි ඉන්දීය රාජතාන්ත්‍රිකයන් විපක්ෂ නායකයන් හමුවීම සම්ප්‍රදායක්ව පැවතුණා.
එහෙත් වත්මන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් පවා තමන් සමග සම්බන්ධවීමට මැලිකමක් දක්වන බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වෙත ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත්තේ.
එය වටහාගත නොහැකි තත්ත්වයක් ලෙස හැඳින්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙරට වත්මන් රජයද ඉන්දීය රාජතාන්ත්‍රිකයන් තම පාර්ශවය හමුවීම නුරුස්සන බව කියා සිටියා.