Gossips

ස්මිත් නායකත්වයෙන් ඉවත්කරන ලෙසට දැනුම් දෙයි

පන්දුව පලුදු කිරීමේ චෝදනාවට අදාලව ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් නායකත්වයෙන් ඉවත්කරන්නැයි එරට ක්‍රීඩා කොමිසම දැනුම් දී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් විසින් ටෙස්ට් තරඟයකදී පන්දුව පලුදු කිරීමේ චෝදනාව පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මඟින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එමඟින් සඳහන් කළේ සිය ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිබඳව දැඩි කම්පනයටත් අපේක්ෂා භංගත්වයටත් පත්වූ බවයි.
දකුණු අප්‍රිකාව සමඟ කේප් ටවුන් හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ (24) පන්දුව පලුදු කළ බවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පිළිගත්තා.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් සිය කළිසම් සාක්කුවෙන් ටේප් පටයක් ගෙන මෙලෙස පන්දුව පලුදු කළ අයුරු ක්‍රීඩා පිටියේ කැමරාවල සටහන්වී තිබූ අතර, එය සිදුකරන බව තමා දැන සිටියේ යැයි ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පසුව කියා සිටියා.
එය තමා ඇතුලු කණ්ඩායම සිදුකළ විශාල අත්වැරැද්දක් ලෙසයි ඔහු හැඳින්වූයේ.
ඊයේ දිනය නිමාවේ පැවති මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බැන්ක්‍රොෆ්ට් මෙන්ම නායක ස්ටීවන් ස්මිත් පන්දුව පලුදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඇයද සිටියා.
එය තමන් ගනු ලැබූ වැරදි තීරණයක් ලෙස හැඳින්වූ ස්ටීවන් ස්මිත් නායකත්වයේ තවදුරටත් රැඳී සිටින බවයි කියා සිටියේ.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කිරිමත් සමඟ ඔහුගේ නායකත්වය අවිනිශ්චිත වී ඇති බව ක්‍රීඩා මාධ්‍ය සඳහන් කළා.
එමෙන්ම තරඟ තීරක ඇතුල ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නිලධාරීන් විසින්ද ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති බව වාර්තාවනවා.