Gossips

මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් නැතැයි තෙල් සංස්ථා සභාපති කියයි

ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එහි සභාපති ධම්මික රණතුංග ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ලංකා අයි. ඕ.සී. සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද මිල ගණන් ඉහළ නංවන්නේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබුණා.
අයි. ඕ.සී. සමාගම සදහන් කළේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමූ බවයි.
ඒ අනුව ලංකා අයි. ඕ.සී. එල්.පී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 126 දක්වා ඉහළ යන අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇති.
කෙසේ වෙතත්, ඔක්ටේන් 95 සුපිරි පෙට්‍රල් මිලෙහි හෝ සුපිරි ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.
ලංකා අයි. ඕ.සී. සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වුණේ 2015 වසරේ ජනවාරියේ සිට පෙට්‍රල් අලෙවියෙන් සහ 2016 වසරේ සැප්තැම්බරයේ සිට ඩීසල් අලෙවියෙන් සමාගමට විශාල පාඩුවක් සිදුවන බවයි.
එම පාඩුව රුපියල් මිලියන 1304 ඉක්ම වීමෙන් අනතුරුව මෙලෙස ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගත් බව ද ඔවුන් ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 69 දක්වා ඉහළ ගොස් ඇති අතර, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 12ක පාඩුවක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 17ක පාඩුවක් සිදුවන බවත්, ලංකා අයි. ඕ.සී. සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එහෙත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබදව තීරණයක් ගෙන නොමැති බව එහි සභාපති ධම්මික රණතුංග හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
ඔහු කියා සිටියේ මෙතෙක් සංස්ථාවේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.
මීට පෙර අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුකර ඇත්තේ 2015 වසරේ ජනවාරි මාසයේයි.
එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 33 කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින්, ඩීසල් ලීටරයක් රුපියල් 16 කින් සහ සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් 23 කින් එහිදී අඩු කෙරුණා.