Gossips

මාකඳුරේ මධුෂ් ඉතාලියේ

ආරක්ෂක අංශවලට අවශ්‍යම පාතාල නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා මේ වන විට ඉතාලියේ සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ සැකකාර මධුෂ් ඉතාලියේ සිට ස්විට්සර්ලන්තය වෙත යාමට උත්සාහ කරමින් සිටින බවයි.
මීට පෙර මොහු ඩුබායි හි සැඟව සිට ඇති අතර ඒ හේතුවෙන් මෙරට ආරක්ෂක අංශවලට ද ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණා.
ඒ, එරට ඇති නීති ක්‍රමවේදය හේතුවෙන්.
කෙසේ වෙතත්, ඔහු ඉතාලියේ රැදී සිටින ස්ථානය හඳුනාගෙන ඇති අතර, නුදුරු දිනෙකදීම මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා බවයි එම උසස් නිලධාරියා සඳහන් කළේ.
මාකඳුරේ මධුෂ් නැමැත්තා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ද එවකට යම් සබඳතා පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වන බවත්, ඔහු ප්‍රභූවරයෙකු ඝාතනය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දක්වා ඇති බව ද සිදුකරන විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියා සඳහන් කළේ.
අරුණ දමිත් උදයංග හෙවත් සමයං සහ මෑතකදී ඝාතනයට ලක්වූ කොස් මල්ලී නැමැත්තා ද ඝාතනය කිරීමේ මෙහෙයුම් සිදුකර ඇත්තේ මාකඳුරේ මධුෂ් විසින්.
එමෙන්ම මෙරට සිදුවන පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඔහුගේ ගෝලයන් සියලු දෙනාම මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔවුන් පදිංචි ස්ථාන වෙනස් කරමින් සිටින බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.