Gossips

ඉදිරි ජනාධිපතිවරණයේ සැලසුම්, හිටපු ජනපති මහින්ද හෙළිකරයි

ඉන්දීය රජය තම පාලනය කෙරෙහි යම් වැරදි අවබෝධයකින් පසුවුවද එම තත්ත්වය දැන් වෙනස් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් කියා සිටියේ අග්‍රාමාත්‍ය මෝදි බලයට පත්වූ 2014 වසරේදී එවැනි අවබෝධයකට පැමිණීමට ප්‍රමාණවත් කාලයක් නොතිබුණු බවයි.
කොංග්‍රස් පක්ෂය මෙන්ම භාරතීය ජනතා පක්ෂ රජය සමඟ සුහද සහයෝගීතාවට එළඹීමට තමන් සැලසුම් කර තිබුණ ද 2015 වසරේදී බලයෙන් ඉවත්වීමට සිදුවූ බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිළ නිවසේදී තමා ඔහු මුණ ගැසුණු බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිහිපත් කළා.
2019 වසර ඉන්දියාවේ මැතිවරණ වසරක් මෙන්ම ශ්‍රී ලංකාවට ද වැදගත් වසරක්.
මහජන චීනය බිහි වූ දා පටන් ශ්‍රී ලංකාව එරට සමඟ සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යනවා.
කෙසේ නමුත්, හම්බන්තොට වරාය ඉදිකිරීමේ කටයුතු තමන් මුලින්ම පිරිනැමුවේ ඉන්දියාවට බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ.
චීනය වෙත එය ලබාදුන්නේ ඉන්දියාව එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තුන්වන වරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව නොමැති බැවින් එහිදී කටයුතු කරන්නේ කෙසේ දැයි ඉන්දීය පුවත්පතේ මාධ්‍යවේදියා හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළා.
එහිදී ඔහු කියා සිටියේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කටයුතු කළ ආකාරයෙන් තමා එහිදී කටයුතු කරන බවයි.
ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තෝරා ගන්නා අපේක්ෂකයා වෙනුවෙන් තමන් ප්‍රචාරක කටයුතුවල නිරත වන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහිදී කියා සිටියා.