Gossips

අනතුරු නිසා වසරකට රුපියල් මිලියන 130ක් රජයට අහිමි වෙයි

රථ වාහන අනතුරු නිසා තුවාල ලබන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට රුපියල් මිලියන 130ක මුදලක් වැය කිරීමට සිදුවන බව පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා.
එය රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 15ක් වන අතර, දිනකට හදිසි අනතුරුවලින් පුද්ගලයින් 8ත්, 10ත් අතර ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වනවා.
එමෙන්ම දිනකට අනතුරුවලින් පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් තුවාල ලබන බවයි පොලිස් රථවාහන කොට්ඨාශය සඳහන් කළේ.
යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අනතුරු සඳහා වැඩි වශයෙන් ලක්වන අතර පසුගිය වසරේ හදිසි අනතුරු 2910ක් සිදුව ඇති අතර, ඉන් පුද්ගලයින් 3078 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මිය ගිය පුද්ගලයින් අතර 935ක් පදිකයින් වන අතර යතුරුපැදිකරුවන් 998ක් ඊට ඇතුළත්.
මේ අතර, අද (24) පෙරවරු 4 සිට පෙරවරු 8 දක්වා කාලසීමාව තුළ පොලිස් රථ වාහන කොට්ඨාශය දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.
වැලි සහ දැව ජාවාරම්කරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.