Gossips

සයිටම් විරෝධී දෙමාපිය ගැටුම උග්‍ර අතට

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මේ වනවිට මත දෙකක පසුවනවා.
ඒ සම්බන්ධයෙන් වන ඔවුන්ගේ මත ගැටුම වර්ධනය වූයේ පසුගියදා ස්ථාන දෙකකදී එහි ප්‍රධානීන් මාධ්‍ය හමු පැවැත්වීමත් සමඟයි.
එක් පිරිසක් එම සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට එකඟ වද්දී, එහි මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන වෛද්‍ය නිමල් කරුණාසිරි ඇතුළු පිරිස පවසන්නේ එම සිසුන් රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගත යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ඊයේ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ නියෝජිතයින් පිරිසක් අදහස් පළ කළේ මෙම ගැටලුව පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කිරීමට එහි ගිය අවස්ථාවේදීයි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් නීතිඥ ගාමිණී ඒකනායක සහ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක වසන්ත අල්විස් සදහන් කළේ වෛද්‍ය නිමල් කරුණාසිරි සම්බන්ධයෙන් ඉදිරියේදී විධායක සභාව රැස්ව තීරණයක් ගන්නා බවයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නිමල් කරුණාසිරිගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.
ඔහු කියා සිටියේ තමන් ඉවත් කිරීමට අදාළ සංගමයට හැකියාවක් නොමැති බවයි.