පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යොමුකළ ප්රතිශෝධන අයදුම්පත් 29 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස අද (23) නියෝග කෙරුණා.
ඒ අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
තමන්ට ඇප ලබාදෙන ලෙස මොවුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් කළ ඉල්ලීම් පසුගියදා ප්‍රතික්ෂේප කෙරුණු අතර, එය අභියෝගයට ලක් කරමින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ප්රතිශෝධන අයදුම්පත් ගොනුකර තිබෙනවා.
මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ හිටපු අමාත්‍ය රවී කරුණානායක පිළිබඳව සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරියගේ සොහොයුරු විජිත් විජේසූරිය, ශනිල් නෙත්තිකුමාර නමැත්තාට දුරකථනයෙන් තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර හමුවේ අද (23) සලකා බැලූණා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර රාජකාරි නිවාඩු ලබා ගෙන ඇති බැවින් අදාළ නඩුව ලබන මස 2 වනදා දක්වා කල් තැබීමටයි එහිදී නියෝග කෙරුණේ.
බැඳුම්කර සිද්ධියට අදාළව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පුද්ගලයින්ට තර්ජනය කිරීමේ චෝදනා එල්ල වූ ශනිල් නෙත්තිකුමාරට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී සාපරාධී බිය ගැන්වීමේ චෝදනාව මත විජිත් ජයන්ත විජේසුරියට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මෙම නඩුව පවරා තිබෙනවා.
එමෙන්ම, ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දරණ සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සිය පෞද්ගලික දුරකථන බිල වූ රුපියල් දෙලක්ෂ 30,000 ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම සම්බන්ධයෙන් වන නඩුව ලබන මස 27 වනදා දක්වා කල් දැමුණා.
ඒ ඊට අදාළ නඩුව අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි.