Gossips

පාර්ලිමේන්තුවේ අයිති නැති ප්‍රශ්නයක්

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම අදාළ වන අමාත්‍යාංශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ගැටළුකාරී තත්ත්වයක් ඇතිවුණා.
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් සහ එහිදී විපතට පත්වූවන්ට වන්දි ලබාදීම පිළිබඳව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්නය යොමුකර තිබුණේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන්.
කෙසේ වෙතත්, ඊට පිළිතුරු ලබාදීම එම අමාත්‍යාංශයට අදාළ නොවන බව දන්වා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියා.
මේ අතර, වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අමාත්‍යවරුන් නොමැතිවීම සහ ඊට කල් ගැනීම සම්බන්ධයෙන්ද අදත් පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවුණා.
ඊට කතානායක කරූ ජයසූරිය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, චමින්ද විජේසිරි සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද මැදිහත් වුණා.