Gossips

මුතුරාජවෙල සියලූ ඉදිකිරීම් සහ ගොඩකිරීම් තහනම්

මුතුරාජවෙල අභය භූමිය ප්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම් සහ ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයන්ට හේතුවන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිවරයා අදාළ අංශවලට නියෝග කර තිබෙනවා.
ජනාධිපතිවරයා මේ නියෝග ලබාදී ඇත්තේ අද (22) අළුයම එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි.
එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල කඩිනමින් අහෝසි කරන ලෙසයි ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ.
එමෙන්ම මෙවැනි පරිසර විනාශයන්ට අනුග්‍රහය දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා අදාළ අංශ දැනුවත් කර ඇතිබවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
එමෙන්ම මුතුරාජවෙල අභය භූමියට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ප්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමට ද ජනාධිපතිවරයා මෙහිදී පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.
මුතුරාජවෙල අභය භූමියට අයත් අක්කර 400 ක භූමි ප්‍රමාණයක් ගොඩකිරීම සදහා ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව පෞද්ගලික සමාගමක් වෙත අවසර ලබාදී ඇති බවට පරිසරවේදීන් මීට පෙර චෝදනා කළා.
කෙසේ වෙතත්, පෞද්ගලික සමාගමකට ගොඩකිරීම් සදහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ.