Gossips

පොරොන්දු ඉටුකරන කාලසීමාව ගැන ශ්‍රී ලංකාවෙන් ප්‍රශ්න කරයි

ජගත් මානව හිමිකම් මණ්ඩලය ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව නිශ්චිත කාල සීමාවක් ඇතුලත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජර්මනිය සහ ස්විට්සර්ලන්තය ප්‍රකාශ කළා.
මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඉදිරිපත් කළ මානව හිමිකම් වාර්තාව පිළිබඳ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඊයේ (21) පැවති වාචික දේශණයට එක්වෙමිනුයි එම රටවල නියෝජිතයින් මේ බව සඳහන් කළේ.
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයින් පශ්චාත් යුද ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන මන්දගාමී ප්‍රගතිය පිළිබඳව මහා බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය ඇතුළු රටවල් මෙහිදී කණස්සල්ල පළ කර තිබෙනවා.
ඇතැම් අන්තවාදී කණ්ඩායම් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුකරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවන් හෙලා දකින බවයි ස්විස්ටර්ලන්ත නියෝජිතයා ප්‍රකාශ කළේ.
මෙහිදී ජර්මනිය සඳහන් කළේ 2015 සිට, යුක්තිය, සංහිදියාව සහ මානව හිමිකම් නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයට තම රට සහය ලබා දී ඇති බවයි.
රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් සිදුව තිබෙනවා.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම වැදගත් පියවරක්.
කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත ඉවත් නොකිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන බව ජර්මනිය සඳහන් කළා.
ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධයෙන් 2015 වසරේදී ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව සමඟ සම අනුග්‍රහය දැක්වූ රටවල් කිහිපයක්ද ඊයේ (21) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා.
එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, මැසඩෝනියාව සහ මොන්ටි නීග්‍රෝ යන රටවල් විසින් නිකුත් කළ එම ඒකාබද්ධ ප්‍රකාශයෙන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්දගාමි ප්‍රගතිය සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන බවයි.