Gossips

පාලිත තෙවරප්පෙරුමත් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇති අතර, එහි සඳහන් වන්නේ ආණ්ඩු බලය තිබියදීත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බුලත්සිංහල ආසනයේ ප්‍රාදේශීය සභා දෙකම පරාජයට පත්වීම පිළිබඳව ලැජ්ජාවට පත්වන බවයි.
එසේම බුලත්සිංහල පොලිස් ස්ථානය සඳහා නව ස්ථානාධිපතිවරයෙකු පත් කර ගැනීමට දින සියයේ ආණ්ඩු සමයේ සිට උත්සාහ කළද එය ඉටුකර ගැනීම සඳහා වගකිව යුත්තෙකුගේ සහය තමන්ට නොලැබුණු බව එමඟින් පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කර තිබෙනවා.
මෙම කරුණු දෙක මුල්කරගනිමින් තමන් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර පානදුර නගර සභාවේ සභාපති ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අදහස් පළ කළ පානදුර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක කියා සිටියේ පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතු බවයි.