Gossips

කතරගමදී ප්‍රහාරයට ලක්වූ බුද්ධි අංශ නිලධාරියා කරාපිටියට

කතරගම බස්නැවතුම ආසන්නයේදී රාජ්‍ය බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර, වෙඩි ප්‍රහාරයට ලක්වු එම නිලධාරීයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවයි කතරගම රෝහල ප්‍රකාශ කළේ.
මෙම පොලිස් නිලධාරියා කතරගම පිහිටි තම නිවසේ සිට තංගල්ල පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අද අලූයම වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර, ඉන් ඔහුගේ අතකට තුවාල සිදු වුණා.
අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම වෙඩි තැබීම පෞද්ගලික හේතුවක් මත සිදුව ඇති බවයි.
මේ අතර, කොටහේන ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුලූ තවත් ඝාතන රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජික චමින්ද වසන්ත හෙවත් චූලා සමග අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු ළඟ තබාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය ප්‍රකාශ කළා.
ඒ, අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මතයි.
ඩුබායි හි සැඟව සිටිමින් අපරාධ මෙහෙයවන කෙසෙල්වත්තේ දිනුක නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙසද චූලා කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.