Gossips

රත්රන් සහ ආයුධ සොයා ආරක්ෂක අංශ මුල්ලිවයික්කාල් ප්‍රදේශය හාරයි (ඡායාරූප)

අවසන් යුධ සමයේදී එල්.ටී.ටී ඊ. සංවිධානය විසින් මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ (20) පස්වරුවේ ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ කැනීම් කටයුතු සිදුකර තිබෙනවා.
මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිසියට සහ මුලතිව් ආරක්ෂක අංශ වෙත ලද තොරතුරක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන් නියෝගයකට අනුව මෙම කැනීම් සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පැය තුනක පමණ කාලයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුවද ආරක්ෂක අංශ වෙත කිසිදු භාණ්ඩයක් හෝ උපකරණයක් සොයා ගැනීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ දිනට කැනීම් කටයුතු නවතා දැමු අතර හෙට (22) දිනයේදී නැවත කැනීම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.
මීට පෙරද අවස්ථා ගණනාවකදී මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍ර‍දේශයේ සහ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ එල්.ටී.ටී ඊ. සංවිධානය වළ දැමු රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය