Gossips

ගෑස් කාන්දුවක් සිදුවූ ජාඇල ඇගළුම් කම්හල තාවකාලිකව වසා දැමීමට නියෝග

ගෑස් කාන්දුවක් හේතුවෙන් සේවිකාවන් අසාත්මිකතාවට ලක්වු ඇගළුම් කම්හල ලබන 22 වනදා දක්වා වසා තැබීමට නියෝග කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව නියමිත ආයතනවලින් වාර්තාවන් කැඳවන තෙක් කර්මාන්ත ශාලාව වසා දමන ලෙසට ජාඇල පොලිසිය මගින් මීගමුව අධිකරණය වෙත කරුණු වාර්තා කර මෙම නියෝගය ලබාගෙන ඇති බවයි.
නොසැලකිලිමත් ලෙසට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ක්‍රියාකරමින් පවතින බව ද පොලිසිය සඳහන් කළා.
ඊයේ මෙම ඇගලුම් කම්හලේ ඇතිවු වායු කාන්දුවක් හේතුවෙන් සේවක සේවිකාවන් 47 දෙනෙකු රාගම, ජාඇල සහ ගම්පහ රෝහල් වෙත ඇතුලත් කෙරුනා.
විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ කම්හලේ යන්ත්‍ර ක්‍රියා කිරීම සඳහා භාවිත කරනු ලබන වාතය සමග ක්‍රියාකරන ගෑස් වර්ගයක් කිසියම් දෝෂයක් මත පිටත වාතය සමග මුසු වී ඇති බවයි.
ඒවා සේවකයන්ට ආඝ්‍රහණය වීමෙන් ඔවුන් රෝගාතුර වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
එම අවස්ථාවේ කර්මාන්ත ශාලාව තුල සේවක සේවිකාවන් 1200 ක් පමණ සේවය කරමින් සිට ඇතැයි සඳහන්.
අනතුරුව, යන්ත්‍රවල ඇතිවූ ගෑස් කාන්දුව නිවැරදි කර යථා තත්වයට පත් කරන තෙක් කම්හල තාවකාලිකව වසා තබන ලෙසට පොලිසිය පාලනාධිකාරියට දැනුම්දී තිබුනා.
කෙසේවෙතත් එම උපදෙස් නොසලකාහරිමින් අද යළිත් සුපුරුදු පරිදි සේවකයන් සේවයේ යොදවා ඇති බවයි පොලිසිය කියාසිටියේ.
ඒ අනුව සේවයේ නිරත වෙමින් සිටි සේවක සේවිකාවන් 52 ක් ගෑස් කාන්දුව හේතුවෙන් ගම්පහ සහ රාගම රෝහල් වෙත ඇතුලත් කෙරුනා.
ජාඇල පොලිසියයි මේ පිළිබඳ විමර්ශණ මෙහෙයවන්නේ.