Gossips

සරසවි කටයුතු අරඹන්නැයි ඉල්ලා සිසුන් මහමගට – 21 වන දිනටත් අනධ්‍යයන සේවකයින් වර්ජනයේ

අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් සියළු විශ්වවිද්‍යාලවල වැඩ කටයුතු අඩාල වී අදට දින 21ක් ගත වනවා.
මේ අතර, සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ පඹහින්න මං සන්ධියට පැමිණ විරෝධතාවයක නිරත වූයේ විශ්වවිද්‍යාල කටයුතු කඩිනමින් යළි යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලමින්.
අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය නිසා විශ්වවිද්‍යාලවල විභාග කටයුතු ද අඩාල වී තිබෙනවා.
විරෝධතාවයට එක්ව සිටි සිසුන් සඳහන් කළේ බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම්වලට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවයි.
මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටළුවලට සාධනීය විසඳුමක් අද දිනයේදී ලබාදීමට කටයුතු කරන බවයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බලධාරීන්ගේ සාධනීය විසඳුම පිළිබදව විශ්වාසයක් නොමැති බවයි.
එසේම ගැටළුවලට වහාම විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද පස්වරුවේ රාජගිරියේ සිට පාර්ලිමේන්තු වටරවුම දක්වා විරෝධතා පා ගමනක නිරතවීමට ද සැලසුම් කර තිබෙනවා.
මේ අතර, රජයේ මිනින්දෝරු සංගමය සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඊයේ පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී තිබෙනවා.
එම සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ හේතුව නිසා තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.