Gossips

අවංක දේශපාලනඥයින්ගේ එකතුවක් අවශ්‍ය බව ජනපති කියයි

2015 ජනවාරි 8 වන දා රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
යාපනය – ශාන්ත පැටි‍්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම සහ උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක, ආර්. සම්බන්ධන් සඳහන් කළේ දෙමළ ජනතාව කිසිදිනෙක තනි රටක් ඉල්ලා නොසිටි බවයි.
අනතුරුව අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ රටේ ප්‍රශ්න විසදමින් අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයින්ගේ එකතුවක් රටට අවශ්‍ය බවයි.
මේ අතර, අතුරුදන්වූවන්ගේ සහ දෙමළ දේශපාලන රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් යාපනය නගරයේදී අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.
ඒ සිය ගැටළුවලට වහා මැදිහත් වන ලෙස රජයට බල කරමින්. කෙසේ වෙතත්, උද්ඝෝෂණයේ නිරත වූ පිරිස අතරින් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ජා කිරීමට අවස්ථාවක් ලබා දීමට ද කටයුතු කර තිබුණා.