Gossips

අවසන් සටන අවසානයේ උණුසුම් වූ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරය

සත්කාරකයන් ඉවතට විසි කරමින් නිදහස් කුසලාන විස්සයි විස්ස අවසන් සටනට පිවිසි බංග්ලාදේශය, ඉන්දියාව හමුවේ ඊයේ (18) කඩුලු 04 ක පරාජයක් ලැබුවා.
ඒ අනුව සමස්ත තරඟාවලියේ එක් තරඟයක් පමණක් පරාජයට පත්වූ ඉන්දියානුවෝ වැඩි ගෞරව සහිතව නිදහස් කුසලානයේ සැබෑ අයිතිකරුවන් බවට පත්වුණා.
ශ්‍රී ලංකාව සමඟ පසුගිය සිකුරාදා පැවති තරඟයේදී නොරිස්සුණු ගති පෙන්නුම් කළ බංග්ලාදේශයට ඊයේ (18) ප්‍රේක්ෂකයන්ගෙන් කිසිදු සහයක් ලැබුණේ නැහැ.
අවසන් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් රැස් කළා.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට අවසන් පන්දු වාර දෙකේදී ලකුණු 34 ක් අවශ්‍ය වූ අතර, අවසාන පන්දු වාරයේදී එම ලකුණු සංඛ්‍යාව 16 දක්වා අඩුකරගැනීමට දිනේෂ් කාර්තික් සහ වී. ශංකර් සමත්වුණා.
කෙසේ නමුත් තරඟයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණු 05 ක් අවශ්‍යව තිබූ අතර, දිනේෂ් කාර්තික් එල්ල කළ හයේ පහරත් සමඟ ඉන්දියාවේ ජය තහවුරු වුණා.
ඒ අනුව ඔවුන් ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 06 ක් පමණක් දැවී තිබියදියි.
මේ අතර අවසන් තරගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද එක්ව සිටි අතර, නිදහස් කුසලානය ඉන්දීය කණ්ඩායම වෙත පිරිනමන ලද්දේද ජනාධිපතිවරයා විසින්.
තරඟයේ හොඳම පන්දු යවන්නා වූ ඉන්දීය පිලේ වොෂින්ටන් සුන්දර් තරඟාවලියේ වීරයා බවටද පත්වුණා.
මේ අතර ඊයේ තරඟය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට රැස්ව සිටි ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයි ඉන්දීය කණ්ඩායමට සහය දැක්වීම විශේෂත්වයක්.