Gossips

හදිසි නීතිය ඉවතට

පසුගියදා මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු පැනවූ හදිසි නීතිය ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ මහජන ආරක්ෂක පනතේ 2 වන වගන්තිය බලාත්මක කරමින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව දින 10 ක් සඳහා රට පුරා හදිසි නීතිය පනවනු ලැබුවේ පසුගිය 6 වනදායි.
පසුව ජනාධිපතිවරයා විසින් ලිඛිතව එය පාර්ලිමේන්තුවටද දැනුම්දෙනු ලැබුවා.
හදිසි නීතිය පැනවූ කාලසීමාව ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර, ඒ අනුවයි ජනාධිපතිවරයා විසින් එය ඉවත් කිරීමේ ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කර ඇත්තේ.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ සිවිල් පරිපාලනයට සුදුසු සාමකාමී වාතාවරණයක් පවතින බවට යුද හමුදාව විසින් පසුගිය සතියේ රජයට කරුණු වාර්තා කරනු ලැබුවා.
එමෙන්ම ජපානයේ නිල සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් සී එක්ස් 611 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබෙනවා.