Gossips

නිදහස් පක්ෂයත් තීන්දුවක් ගනියි – එ.ජා.ප. යේ පසුපෙළින් ඉල්ලීමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සදහා මේ වනවිට මන්ත්‍රීවරුන් 40 කට වැඩි පිරිසක් අත්සන් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.
විශ්වාසභංග යෝජනාව කරුණු 14 කින් සමන්විත වන අතර, ඉන් කරුණු 12 ක්ම සම්බන්ධ වන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළවයි.
විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් පැහැදිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ රටේ අනාගතය පිළිබදව සිතමින් මෙම විශ්වාසභංගයට සියලූදෙනාම සහය පළ කළ යුතු බවයි.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අත්සන් තැබූ බව ඊයේ ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක අද ඒ පිළිබදව වෙනත් අදහසක් පළ කළා.
ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අත්සන් තැබූ ලියවිල්ලක් ඉදිරියේදී කතානායකවරයා වෙත භාර දෙන බවයි.
විශ්වාසභංගය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළේ තමන් විශ්වාසභංගයට අත්සන් කළ බවයි.
‘‘ අපි ලෑස්තියි අපේ සහය අනිවාර්යයෙන් අපි කණ්ඩායමක් විදිහට අපි ලබාදෙනවා.
ප්‍රශ්නය – අගමැතිවරයාට තමයි ප්‍රධාන වශයෙන් මේ විශ්වාසභංගය ගේන්නේ. ඔබතුමාලා සහයෝගය දෙනවාද?
පිළිතුර – අපි සහය දක්වනවා.
ප්‍රශ්නය – ඒ කියන්නේ?
පිළිතුර – විරුද්ධව.
ප්‍රශ්නය – ඒ කියන්නේ විශ්වාසභංගයට විරුද්ධව?
පිළිතුර – නැහැ. විශ්වාසභංගයට පක්ෂව සහය දක්වනවා. අගමැතිතුමාට විරුද්ධව.
රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් සිටියදී එම ස්ථානයෙන් ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්සන් තබන ආකාරය පෙන්වන හස්ත සංඥාවක් මාධ්‍යවේදීන් වෙත පෙන්වමින් ගමන් කළා.
අනතුරුව මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවට අත්සන් කළේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
ප්‍රශ්නය – අත්සන් කළාද ඔබතුමා ?
පිළිතුර – අත්සන් කරලා ඉවරයි.
ප්‍රශ්නය – ඒ කියන්නේ විශ්වාසභංගයට ඔබතුමාත් අත්සන් කරලා ඉවරයි?
පිළිතුර – ඔව්.
ප්‍රශ්නය – ඔබතුමාත් විශ්වාසභංගයට අත්සන් කළා ?
පිළිතුර – ඔව් ’’
රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් සිටියදී, අත්සන් තබන ආකාරය පෙන්වන හස්ත සංඥාවක් මාධ්‍යවේදීන් වෙත පෙන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ එම ස්ථානයෙන් ගමන් කිරීම ද විශේෂත්වයක්.
කෙසේ වෙතත්, විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූ බව තුන්වරක් සහතික කළ රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක අද හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඊට අත්සන් නොතැබූ බවයි.
‘‘ ප්‍රශ්නය – ඔබතුමා ඊයේ කියලා තියෙන්නේ අත්සන් කළා කියලා?
පිළිතුර – නැහැ නැහැ ඒක අත්සන් කරන්න කටයුතු කරනවා.
ප්‍රශ්නය – ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂය ගේන්න යන විශ්වාසභංගයටද?
පිළිතුර – නැහැ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
ප්‍රශ්නය – ඒක දැන් විශ්වාසභංගයක් විදිහටද එන්නේ නැත්නම් ලියවිල්ලක් විදිහටද?
පිළිතුර – අපේ විශ්වාසයක් නැහැ කියන ඉල්ලීමනේ.
ප්‍රශ්නය – අගමැතිවරයා ගැන විශ්වාසයක් නැහැ කියන ලියවිල්ලක් තමා කථානායකවරයාට භාර දෙන්නේ?
පිළිතුර – ඔව්’’
මේ අතර, ටී.බී.ඒකනායක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවයෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කතානායකවරයා වෙත ලියවිල්ලක් ඉදිරිපත් කරන බවට සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී.දිසානායක ප්‍රතික්ෂේප කළේ නිදහස් පක්ෂයේ තීන්දුව ගැන ද යම් ඉගියක් පළ කරමින්.
‘‘ ප්‍රශ්නය – අගමැතිවරයා කෙරෙහි විශ්වාසයක් නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට කථානායකවරයාට ලියවිල්ලක් මොනවා හරි ඉදිරිපත් කරනවාද?
පිළිතුර – නැහැ. අපි ඉදිරිපත් කරන්නේ නැහැග හැබැයි විශ්වාසභංගයට බොහෝ විට අපේ අය උදව් කරයි.
ප්‍රශ්නය – විශ්වාසභංගය කියන්නේ ඒකාබද්ධය ගේන විශ්වාසභංගයටද සහයෝගය දෙන්නේ. නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ?
පිළිතුර – දෙකක් ඕනේ නැහැනේ. විශ්වාසභංගය කවුරු හරි එක්කෙනෙක් ගෙනාපුවාම ඒකට උදව් කරනවා. විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙනාවාම ඒකට ඡන්දය දෙන්නයි තියෙන්නේ ’’
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසයක් නොමැති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරියේදී කතානායකවරයා වෙත ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග හෙළි කළේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය වෙනස් විය යුතු බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ප්‍රකාශ කළා.
දඹුල්ලේදී මාධ්‍ය හමුවක් කැදවමින් එහි මහලේකම්, හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී එස්.ආර්.එම් වික්‍රමසිංහ කියා සිටියේ මේ අනුව, තරුණ නව නායකත්වයකට පක්ෂය භාර දිය යුතු බවයි.
‘‘පළාත් සභා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් කළකිරීමෙන් ඉන්නවා. ගරු නායකතුමාට අකමැත්තෙන් ගමට ගිහිල්ලා ඔබතුමාව මාකට් කරන්න බැහැ. අපි දැන් ඉවසුව ඉවසුවා අවුරුදු 25 ක් හැබැයි අපිට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් බිහිකරගන්න බැරුව ගියා. ඒ නිසා අපි කියන්නේ ජනමතය බලන්න නම් ඔබතුමාගේ පෞද්ගලික දුරකථන අංකය ප්‍රසිද්ධ කරන්න. රටේ ඉන්න සමස්ත ජනතාව කවුද නායකයා කවුද ඕනේ කියලා එස්. එම් එස්. පණිවිඩයකින් එවයි.
ප්‍රශ්නය – ඒ කියන්නේ ඉල්ලා අස්වෙන්න කියලාද? නායකත්වයෙන් අයින් වෙන්න කියලා මොකක්ද ඉල්ලීම?
– අපි කියන්නේ ගරු අගමැතිතුමාට අගමැතිකමේ ඉන්න. අපි කියන්නේ පක්ෂ නායකයා විදිහට ඔබතුමාට දැන් යන්න කාලය සුදුසු කාලය එළඹිලා තියෙන්නේ.
ප්‍රශ්නය – නම් කරන නායකයා කවුද? එහෙම සැලසුමක් තියෙනවාද?
– පක්ෂය හැර ගිය දැවැන්තයෝ ඉන්නවා මේ වෙනකොට මේ පක්ෂයේ නායකත්වය වෙනස් වුණ ගමන්ම ඒකරාශී වෙන්න බලාපොරොත්තුවෙන්. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමා, එතුමා ගරු නායකතුමාට මුහුණටම කිව්වා සර් මේ වැඩේ කරන්න එපා මේක, සර් ඉල්ලන්නග බැරි නම් සජිත් මහත්තයාට දෙන්න. එහෙම නැත්නම් කරු ජයසූරිය මහත්තයාට දෙන්න. නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ කවුරු හරි දාන්න. මේක දිනන්න පුළුවන් මැතිවරණයක් කියලා. නමුත් ඒ අවස්ථාවේදී එතුමා ඒක වෙනස් කළේ කවුරුත් දන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් දන්නේ නැහැ. එතුමා ආවේ ජනාධිපති අපේක්ෂකයා විදිහට නෙමෙයි. පක්ෂයට සම්බන්ධ වුණේ අගමැතිකම බලාපොරොත්තුව’’
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ ක්‍රියාකාරින් එක්ව මෙම එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ආරම්භ කර තිබෙනවා.
දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහේම එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටීම විශේෂත්වයක්.