Gossips

විශ්වාසභංගයට අත්සන් තබන බව හිටපු ජනපති කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගයට තමන් ඇතුළු ඒකාබද්ධ නායකයින් සියලූදෙනා අත්සන් තැබීමට තීන්දු කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනයන්ට චීනයේ – බීජිං විදේශ අධ්‍යයන විද්‍යාලයක් විසින් පිරිනමනු ලැබූ ආචාර්ය උපාධි පිරිනැමීමේ උත්සවයට එක්වීමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
‘‘ ප්‍රශ්නය- මේ වෙද්දී විශ්වාසභංගයට අත්සන් කරලා තිබෙනවා. කොහොමද ඔබතුමාලා මේක ජයග්‍රහණය කරන්නේ ?
පිළිතුර- ඉන්නකෝ බලාගෙන ජයග්‍රහණය කරන හැටි.
ප්‍රශ්නය- ඔබතුමත් මේ සඳහා අත්සන් කරනවාද?
පිළිතුර- ඔව් ඉතිං ඒවා තීන්දු කරන්න ඕනෙනේ. අපි තීන්දු කරලා තියෙන්නේ ඒවා.
ප්‍රශ්නය- ඒකියන්නේ ඔබතුමා මේකට අත්සන් කරනවා?
පිළිතුර- හැමෝම අත්සන් කරනවා නායකයින්. කිසිගැටලුවක් නැතුව කරනවා’’
උත්සවයට එක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී අදහස් පළ කළා.
‘‘ප්‍රශ්නය – ඔබතුමා ඉදිරියේදී නායකත්වයක් ගන්න සූදානමින් ඉන්නවා. ඒ කියන්නේ දේශපාලනයට එන්න සූදානමක් තිබෙනවාද?
පිළිතුර – සූදානමක් කියලා එකක් නැහැ. ඒක ඒ අවස්ථාව වුණාම බලන්න ඕනේ.
ප්‍රශ්නය- කලින්නම් කැමැත්තක් තිබුණේ නැහැ. දැන්නම් කැමතියි වගෙයි?
පිළිතුර- නැහැ එහෙම. මට ඊට වඩා කැමතියි යම් කිසි ආකාරයක ඕනෑම ආකාරයකින් අපිට රටට සේවය කරන්න පුළුවන්නේ. ඒක එහෙම කරන්න. ඒක දේශපාලනයට ඇවිල්ලාද නැතුවද පළමුවෙනියාද දෙවැනියාද තුන්වැනියාද කියන ප්‍රශ්නයක් නැහැ. ඒ කාරණය කරන්නට ඕනේ’’