Gossips

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඉල්ලීම, අනධ්‍යයන සේවකයින් යළි ප්‍රතික්ෂේප කරයි

වර්ජනය අවසන් කර රාජකාරීවලට පැමිණෙන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සිදුකළ ඉල්ලීම විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව යළි ප්‍රතික්ෂේප කරනවා.
එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ වර්ජන ක්‍රියාමාර්ග අතරතුර සාකච්ඡාවට පැමිණීමට තම සංගමය සූදානම් බවයි.
මීට පෙර ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡා සිදුකළත් සිය ගැටළුවලට විසදුම් නොලැබුණු බව ඔහු සඳහන් කළා.
සරසවි අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 18ක්. වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දියත් කෙරෙන මෙම වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙනවා.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය උපදේශක ජිනදාස දඩල්ලගේ සමඟ විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව සාකච්ඡාවක නිරත වූ අතර, ඉන් විසඳුමක් නොලැබීම හේතුවෙන් ඔවුන් තීරණය කළේ අඛණ්ඩව සිය වැඩ වර්ජනය සිදුකිරීමටයි.
මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ අනධ්‍යයනය සේවකයින්ගේ වර්ජනය සහය පළ කරමින් ඉදිරියේදී විරෝධතා ව්‍යාපාර දියත් කරන බවයි.