කහට උගුරක් බොන්න නැති මිනිස්සු ඉන්න රටේ කැරකි කැරකි තේ බොන්න නෙලුම් කුලුනු හදනවා
“ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිවුවට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුලුන හොඳයි අපිට පැනලා මැරෙන්න” යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජවිපෙ ජනහමුවක් අමතමිනි.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“අපිට රූපවාහිනියේ විවිධ දේවල් පේනවා. අධිවේගී මාර්ග හැදුවා කියනවා. ගුවන් පාලම් විවෘත කරනවා. නෙළුම් පොකුණු තියනවා. නෙළුම් කුලුනු තියනවා. ඔය නෙළුම් කුලුන ලංකාවේ තියන උසම කුලුන. ඒකේ උඩ හෝටලයක් තියනවාලු. ඒ හෝටලය කරකෙනවලු. කුලුනට නඟලා ඒ හෝටලයට ගිහිල්ලා තේ කෝප්පයක් අරගෙන මෙසේ වාඩි වෙලා ඒක බොන ගමන් එක වටයක් කැරකෙන කොට මුළු කොළඹම බලන්න පුළුවන්. දැන් ඌව පරණගම ඔබට මොකටද මේක. මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද. ඒවා හදන්නේ අපිට නෙවෙයි. මේවා හදන්නේ වෙන පම්පෝරී ගහන වෙන පන්තියකට. අපිට ජීවත් වෙන්න වෙලාවට වගාවන්ට වතුර ටික නැහැ. වෙලාවට පොහොර ටික නැහැ. අස්වැන්නට මිලක් නැහැ. රස්සාවක් නැහැ. ඉඩමක් නැහැ.
මේ රටේ වංචා දූෂණ අල්ලන්න මේ අයට බැහැ. ඒ මොකද මේ දෙගොල්ලම එක වල්ලේ පොල්. එක මල්ලේ ලුණු කන කට්ටිය. රෑට එකතු වෙලා හොරකමේ යනවා. දවල්ට ගහ මරා ගන්නවා. ඒ රණ්ඩු කරන්නේ බෙදා ගන්න ගිහිල්ලා. හොරුන්ගේ හැටි එහෙම තමයි. සාමාන්‍යයෙන් තමන්ගේ කොටස පොඩි වුණාම රණ්ඩු කරනවා.
එහෙම රණ්ඩුවක් අපි දැක්කා පහුගිය දවසක. මේ වෙනකම් රට පාලනය කළ එජාපයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි හොරකම් කළා කියන එක අපි කියන්න ඕනෑ නැහැ. ඒක පෙන්නුවා. මේ ලඟදි අපි හැමෝම පාර්ලිමේන්තුව රූපවාහිනියෙන් දැක්කා. අද ලංකාවේ ප්‍රධාන පාසල් ගාව ගංජා විකුණුවා. රට පුරා ටොන් ගණන් කුඩු පිරිලා තියනවා. දැන් මේ පහුගිය දවස්වල පොහොර හිඟයක් තිබ්බා රටේ. මේ අපේ රටේ ජනාධිපතිතුමා අමුතු කෙනෙක්. එයා රටේ ප්‍රශ්න දකින්නේ පත්තරෙන්. එයා ඒක දැකලා වහාම පකිස්ථානයට දුරකතන ඇමතුමක් දුන්නලු අපේ රටට පොහොර නැවක් එවන්න කියලා. අපිට පොහොර හිඟ වුණාට කුඩු හිඟයිද? අපිට පොහොර හිඟයි. හැබැයි හිඟ නැතිව කුඩු තියනාවා. ගංජා හිඟ නැහැ. ලංකාවට යම් මදිකමක් තියනවානම් කේරළයෙන් හරි ගෙනත් දෙනවා.
පසුගිය දවසක අපි දැක්කා අර අලුතින් හදපු ජී.එල් පීරිස් මහත්තයාගේ පක්ෂයේ මහින්ද රාජපක්ෂත් ඉන්න පක්ෂයේ අපේක්ෂකයෙක් කසිප්පුත් එක්ක අල්ලගෙන. ඊට කලින් ප්‍රවෘතියක් තිබ්බා පොහොට්ටුවේ අපේක්ෂකයා ගංජා කිලෝ 32ක් සමඟ අත් අඩංගුවට කියලා. තව කෙනෙක් බුරුත කඳන් තොගයක් එක්ක අහුවෙලා.
ඒ අය ඡන්දය ඉල්ලන්න එන්නේ ගමට සේවය කරන්න නෙවෙයි. ඒ අය මන්ත්‍රීකමක් ගන්න බලන්නේ. ඒ අය කරන විවිධ අපරාධ ක්‍රියාවලට මන්ත්‍රී ලයිසන් එකක් හැටියට පාවිච්චි කරන්න. තමුන්නාන්සෙලා කවුරුත් දන්නවනේ ඔය මන්ත්‍රීවරුන්ට අපේ රටේ අමුතු බලයක් තියනවනේ. පොලීසියේ මහත්වරු පොඩ්ඩක් බයයි.නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වාහනය නැවැත්තුවත් මම මන්ත්‍රී කියපු ගමන් හා යන්න කියනවා. ඒක ලේසියි කසිප්පු අදින්න. මන්ත්‍රීකමක් ගත්තම ගංජා අදින්න ලේසියි. හොරෙන් ගස් කපන්න ලේසියි. ඉඩම් හොරෙන් අල්ලන්න ලේසියි. මේ නිසා මැරකම් කරන, අපරාධ කරන දූෂණ කරන අය මන්ත්‍රීකමක් ගන්න යනවා.
දැන් මේ පහුගිය දවසක තිස්සමහරාමයේ ඉතා ඛේදජනක සිද්ධියක් සිද්ධ වුණා. අවුරුදු 17 ක ගැහැනු දරුවෙක් ගෙදරින් ඇරන් ගිහිල්ලා රෑ එළිවෙනකම් අතවර කරලා. ඒ ගැහැනු දරුවා ඒ වේදනාව සහ ලැජ්ජාව දරාගන්න බැරිව එල්ලිලා මැරුණා. ඒ අතවර කරපු තරුණයෝ කවුද. ඒ තරුණයෝ එදා එතන තිබුණ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කාර්යාලයේ බිබී හිටිය කට්ටිය. දැන් කාර්යාල වහලා කට්ටිය පැනලා ගිහිල්ලා. ඉතින් ඔන්න ඕක තමයි අපේ රටේ තත්ත්වය.
මම දැක්කා සමහර අපේක්ෂකයෝ දැන් මේ වෙන විටත් ලක්ෂ 20ක් 25ක් වියදම් කරලා ඉවරයි. දැවැන්ත කාර්යාල ගහලා. අඩි හැටේ අසූවේ කටවුට් ගහලා. කොඩි දාලා. විශාල සැරසිලි කරලා. හවසට බොන්න දෙනවා. වාහන කිහිපයක් එහෙ මෙහෙ දුවනවා. කට්ටියට පඩි දෙනවා. මහ වියදමක් කරනවා. මොකටද මේ මෙච්චර වියදම් කරන්නේ. මේක ජනාධිපතිවරණයවත් මහ මැතිවරණයක්වත් නෙවෙයිනේ. මේ ගමේ පුන්චි ඡන්ද්දය. ගමේ පුංචි ඡන්දයේ මන්ත්‍රීකමක් ගන්න ජනාධිපතිවරණයක් වගේ වියදම් කරගෙන මහ විශාල් වියදමක් කරන්නේ ඇයි. මේ ඡන්දෙන් මොකක්ද ලැබෙන්නේ.
මේ මැතිවරණයෙදී කවුරු හරි මන්ත්‍රීකෙනෙක්ට ලැබෙන මාසික දීමනාව රුපියල් පහළොස් දාහයි. වෙන මොකුත් හම්බ වෙන්නේ නැහැ. එතකොට එය අවුරුද්ද තිස්සේ මන්ත්‍රීකම කළොත් හම්බවෙන්නේ රුපියල් එක් ලක්ෂ අසූ දාහයි. එයා අවුරුදු හතරම සභාවේ සිටියොත් එයාට එකතු කරන්න පුළුවන් ගාණ රුපියල් හත් ලක්ෂ විසිදාහයි. ඒ කියන්නේ මන්ත්‍රී කෙනෙක් අඛණ්ඩව ප්‍රාදේශීය සභාවේ සිටියොත් එයාට නීත්‍යානුකූලව උපයාගන්න පුළුවන් රුපියල් හත් ලක්ෂ විසිදාහයි. එහෙම තියෙද්දී දැන් ඡන්දයට ලක්ෂ දහයක් පහළොවක් වියදම් කරනවා. එතකොට අපිට තේරෙන්නේ නැද්ද මෙතන මොකක් හරි අප්සට් එකක් තියනවා කියලා.
ලක්ෂ හතක් හොයන්න ලක්ෂ දහයක් විතර වියදම් කරන්නේ ඇයි. සාමාන්‍යයෙන් මේ බිස්නස් එක පාඩුයිනේ. ඒ කියන්නේ මේ මන්ත්රීකමත් අරගෙන එයා යන්නේ අර රුපියල් හත් ලක්ෂ විසිදහ ගන්න නෙවෙයි. එයා ගිය ගමන් අරමුදල් සොයන්න ඕනි. අනිවාර්යයෙන්ම කොන්ත්‍රාත් කරන්නම වෙනවා. කොමිස් ගහන්නම වෙනවා. හොරකම් කරන්නම වෙනවා. පගා ගන්නම වෙනවා. අපේ සභාවේ තිබෙන මහජන මුදල් කුට්ටියක් හොරා කන්නම වෙනවා. ඒ නිසා කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම වැඩිපුර මුදල් මේ ඡන්දෙදීත් වියදම් කරනවා නම් ප්‍රාදේශීය සභාවට යන්න එයා හොරෙක්. බඩු බෙදුවොත් ගන්න. හැබැයි ඡන්දයනම් දෙන්න එපා. ඡන්දය විකුණන්න එපා ඒ වගේ අයට.
හොරු ප්‍රාදේශීය සභාවට යැවුවොත් අපිට මුකුත් ඉතිරි වෙන්නේ නැහැ. හොරු නැති කණ්ඩායමක් යවනවානම් යවන්න ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. ඒ නිසා තමයි අපි අපේ තේමා පාඨය හැටියට දැම්මේ “ගම ගොඩ නඟන, දූෂණය පරදන ජවය” කියලා. මේ ගම හදන්න ඕන. මේ ගම්වල ජනතාව ඉතා අසීරුවෙන් ජීවත් වෙන්නේ. සම්පත් අඩුයි. පහසුකම් අඩුයි. ග්‍රාමීය ජනතාවට සේවයක් වන ප්‍රාදේශීය සභාවකුයි හදා ගන්න ඕනි.”