වර්ජනයේ නිරත රජයේ මිනින්දෝරු සංගමය, සරසවි අනධ්‍යයන වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය උපදේශක ජිනදාස දඩල්ලගේ අතර අද පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.
ඒ අනුව වර්ජනය අඛණ්ඩව දියත් කරන බවයි එම වෘත්තීය සංගම් ප්‍රකාශ කළේ.
මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය තීරණය කර ඇති බව පවසමින් රජයේ මිනින්දෝරු සංගමය සංකේත වැඩ වර්ජනයක නිරත වන්නේ පසුගිය 14 වන දා සිටයි.
ඔවුන් අද උදෑසන කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක ද නිරත වුණා.
ඒ හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසළින් වසා දැමුණු අතර, පා ගමන කොල්ලූපිටිය මංසන්ධිය ආසන්නයට ළඟාවීමත් සමඟ මාර්ග බාධක යොදා මාර්ගය වසා දැමීමටයි පොලීසිය පියවර ගත්තේ.
මෙහිදී රජයේ මිනින්දෝරු සංගමයේ නියෝජිතයින් 5 දෙනෙකුට අග්‍රාමාත්‍ය උපදේශක ජිනදාස දඩල්ලගේ සමඟ සාකච්ඡාවක් හිමි වූ අතර, මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන බදාදා දැනුම් දෙන බව එහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, සාකච්ඡාව අසාර්ථක වූ නිසා දැනට ක්‍රියාත්මක සංකේත වැඩ වර්ජනය ලබන සඳුදා සිට දැඩි කරන බවයි අනතුරුව හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ කියා සිටියේ.
සරසවි අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 17ක්.
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දියත් කෙරෙන මෙම වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙනවා.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය උපදේශක ජිනදාස දඩල්ලගේ සමඟ විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව සාකච්ඡාවක නිරත වූ අතර, අනතුරුව ඔවුන් තීරණය කළේ එහිදී ගැටළුවලට විසදුමක් නොලැබුණු නිසා වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමටයි.
මේ අතර, දැනට ක්‍රියාත්මක වර්ජනය අවසන් කර නැවත සේවයට වාර්තා කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා.
සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.