අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කතානායකවරයා වෙත භාරදීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දිනයේ මන්ත්‍රීවරුන් 32 ක් ඊට අත්සන් තබා ඇති අතර, විශ්වාසභංග යෝජනාව කරුණු 14 කින් සමන්විත වනවා.
ඉන් කරුණු 12 ක්ම සම්බන්ධ වන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළවයි.
පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අතර විවිධ මතවාද පළ වුණා.
ඒ වෙනුවෙන් අවස්ථා රැසකදී සාකච්ඡා සිදුකෙරුණු අතර, ඒකාබද්ධ විපක්ෂය කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
කෙසේ වෙතත්, මහනුවර ප්‍රදේශයේ හටගත් නොසන්සුන් තත්ත්වයත් සමඟ එය ඉදිරිපත් කිරීම කල් දැමුණා.
ඒ අනුවයි ඒකාබද්ධ විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම අද ආරම්භ කළේ.
ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාවට බැඳුම්කර වංචාව සිදුකිරීමේ කූට අරමුණින් මහ බැංකුව තමන් යටතට පවරා ගැනීම, මෙරට පුරවැසියෙකු නොවූ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ධුරයට පත් කිරීම, බැඳුම්කර වංචාවට පැහැදිලි ලෙසම සම්බන්ධ වීම සහ බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම මෙන්ම ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශන සිදුවන අතරවාරයේ එහි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ඉවත් කර නව සාමාජිකයෙකු පත් කිරීම ඇතුළු කරුණු එහි අඩංගු වනවා.
මීට අමතරව නීතිය හා සාමය අමාත්‍ය ධුරය දරමින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ජාතික සමගිය බරපතල ලෙස පළුදු කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීම යන කරුණද විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබෙනවා.