Gossips

ඇමතිවරු දෙදෙනෙක් ජිනීවා නුවරට

ජගත් මානව හිමිකම් මණ්ඩල 37 වන සැසිවාරයට සහභාගිවිම සදහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ඇතුළු දූත පිරිස ලබන සඳුදා ජිනිවා නුවර පිටත්ව යනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා, මහේෂිනී කොලොන්නේ සඳහන් කළේ මාර්තු 21 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවට ඔවුන් සහභාගි වන බවයි.
2017 වසරේ මාර්තු 23 වැනිදා ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මත කරගත් 34 එක යෝජනාවට අනුව මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වනවා.
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා එම වාර්තාව සකසා ඇත්තේ සාමාජික රටවල ඉල්ලීම්වලට අනුවයි.
එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 වසරේ සැප්තැම්බරයේදී සම්මත කරගත් තිහ එක යෝජනාව ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කරනු ඇති.
එම යෝජනාව හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය ලෙසයි.
එම යෝජනාවේ අඩංගු නිර්දේශ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ වාර්තාව දැනටමත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ගොනුකර ඇති අතර, එහි වාචික ඉදිරිපත් කිරීම සහ අදහස් දැක්වීම මාර්තු 21 වැනිදා සිදුකිරීමට නියමිතයි.