Gossips

සෞදියේදී නිවසේ හිමිකරු වෙඩිතබා ඝාතනය කළ කාන්තාවගේ මරණය සැකයි – සැමියා

සෞදි අරාබියේදී නිවසේ හිමිකරු විසින් වෙඩි තබා ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
කෙසේ නමුත් ඝාතනයට ලක්වු කාන්තාවගේ පවුලේ ඥාතින් පවසන්නේ මෙම මරණය සැක සහිත බැවින් ඒ පිළිබඳව සධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
සෞදි අරාබියේ නිවසක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් අදාළ නිවසේ හාම්පුතා විසින් වෙඩිතබා ඝාතනය කර ඇති බව පසුගියදා අරාබි මාධ්‍යය වාර්තා කළා.
එම වාර්තාවල දැක්වුණේ අදාළ පුද්ගලයා මානසීක අවපීඩනයකින් පෙළුණු අයෙක් බවත්, ඝාතනයෙන් පසු ඔහුද එම අවියෙන්ම සිය දිවි හානි කරගෙන ඇති බවයි.
වෙඩි තැබිමෙන් මියගියේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ප්‍රියංකා ජයසේකර නම් වූ තිදරු මවක්.
මියගිය කාන්තාවගේ පවුලේ ඥාතින් පවසන්නේ ඇය සේවය කළ නිවසේ මානසීක රෝගී පුද්ගලයෙකු සිටින බව දැන නොසිටි බැවින් මෙම මරණය සැක සහිත බවයි.
මේ පිළිබඳව අප කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජීතයෙකු පැවසුවේ මෙය ඝාතනයක් බවට සැක සහිත බැවින් එරට තුළ මරණ පරීක්ෂණයක් සිදු කර අවසන් වන තෙක් දේහය මෙරටට ගෙන්වා ගැනීම පමාවන බවයි.
කෙසේ නමුත් එරට රජය සමඟ සාකව්ඡා කර හැකි විගස ඉදිරි කටයුතු සිදු කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.