එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් එක්රැස් කිරීමේ චෝදනාව මත ස්විට්සර්ලන්තයේ පදිංචි ශ්රී ලාංකිකයන් 13 දෙනෙකුට එරෙහිව එරට අපරාධ අධිකරණයක් හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව එළඹෙන ජූනි මාසයේදී ලබාදීමට නියමිතයි.
ඒ සති 8 ක් පුරා නොකඩවා පැවති නඩු විභාගයකින් අනතුරුවයි.
ශ්රී ලංකාවේ සිට අවස්ථාවන් කිහිපයකදී මොවුන් ස්විට්සර්ලන්තයට ගොස් බලහත්කාරයෙන් කප්පම් ගැනීම්, මුදල් එක්රැස් කිරීම සහ සංවිධානාත්මක අපරාධ රැසක් සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
එරට නීති බලධාරීන් විසින් මීට අදාළව සිදුකළ සාක්ෂි විමසීමේදී මෙම සැකකරුවන් අදාළ අපරාධ සිදුකර ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් එක්රැස් කිරීමේ අරමුණින් බවටද හෙළිව තිබෙනවා.
ස්විට්සර්ලන්ත නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති මෙම නඩුවට ඩොලර් මිලියන 4 ක් වැයවී ඇති අතර, සැකකරුවන් වරදකරුවන් බවට පත්වුවහොත් එම මුදල ඔවුන්ට ගෙවීමට සිදුවනු ඇති.