ෆේස් බුක් සමාගමේ නියෝජිතයින් සමඟ ජනපති ලේකම් හෙට (15) පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව ෆේස් බුක් අවහිරතාවය ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනපති මාධ්‍ය ඒකකය පවසනවා.
පසුගිය දිනවල, සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතික සමගියට බාධා වන පරිදි දිවයින පුරා වර්ගවාදය සහ ප්රචණ්ඩත්වය මුදා හැරීම සහ ප්රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් සමාජ ජාලා වෙත ප්‍රවේශ වීමේ හැකියාව තාවකාලිකව සීමා කිරීමට රජය පියවර ගත්තා.
ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දුන් උපදෙස් අනුව, අවශ්‍ය නියාමන, ආරක්ෂණ සහ ආවේක්ෂණ විධිවිධාන ක්‍රියාවට නැංවීමෙන් පසු, එතෙක් තාවකාලිකව වාරණයට ලක් කර තිබූ වයිබර් සමාජ ජාලය වෙත ප්‍රවේශය ඊයේ (13) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ලබා දීමට කටයුතු කළා.
තවදුරටත් සීමාවට ලක් කර තිබෙන සමාජ ජාල වෙබ් අඩවි සහ සේවාවන් පිළිබඳ අධ්‍යයනය කළ ජනාධිපතිවරයා, අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වට්ස්ඇප් සේවාව වෙත දැනට ක්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද උපදෙස් දී තිබෙනවා.
එසේම, රට තුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩ නොතබමින්, සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත්, මෙවැනි ක්‍රියාවන්ට වරදකරුවන් වන අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.