Gossips

එම්.කේ. කසුන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
බස් රථ රියදුරාට පහර දෙන අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ගිනි අවියෙහි බලපත්‍රය ඉකුත් වී ඇති බවට ද විත්තියේ පාර්ශවයේ නීතිඥයින් විසින් අධිකරණය හමුවේ කරුණු ගොනු කරනු ලැබුවා.
පසුගිය සිකුරාදා බත්තරමුල්ල – කොස්වත්ත ප්‍රදේශයේදී අදාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ගිනිඅවියක් ද අතැතිව බස් රථ රියදුරාට පහරදෙන ආකාරය පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් පටිගත කර තිබූ අතර ඔවුන් පසුගිය සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් මීට පෙර 2015 අගෝස්තු මාසයේ දිනයකදී බෙලිඅත්ත – දම්මුල්ල ප්‍රදේශයේදී දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසකට ගිනි අවි පෙන්වා බිය වද්දා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප පිට නිදහස්ව සිටින අයෙක්.