Gossips

අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය දැඩි වෙයි

සිය වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරමින් අනිද්දා (14) මධ්‍යම රාත්‍රියේ සිට ස්වේච්ඡා සේවාවලින්ද ඉවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ කියා සිටියේ වැටුප් ගැටළුව ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ වර්ජනයට අදට දින 13 ක් ගතවුවත් ඒ පිළිබඳව බලධාරින්ගේ අවධානය මෙතෙක් යොමුවී නොමැති බවයි.
වර්ජනය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට බාධා එල්ලවී ඇති අතර, මෙම තත්වය හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු විභාග කල් දමා තිබෙනවා.
එමෙන්ම මෙම වර්ජනයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලටද බලපෑම් එල්ල කර ඇති බවයි එහි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර නේවාසිකාගාර ගැටළුවක් මුල් කරගනිමින් අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දියත් කළ සත්‍යග්‍රහය ඊයේ (11) අවසන් කෙරුණේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.